සිවිල් ඇඳුමකින් සැරසී රාජකාරී ගිනිඅවිය ද රැගෙන තවත් අයෙකු සමග ත්‍රිකුණාමලය, අනුරාධපුර හන්දියේ මත්පැන් හලකට කඩා වැදී මුදල් කොල්ලකා යතුරුපැදියකින් පලා ගිය බව කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමග කොල්ලයට සම්බන්ධ වූ බව කියන අනෙක් පුද්ගලයාද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකාර සැරයන්වරයා උප්පුවේලි පොලීසියට අනුයුක්තව කින්නියා වෙඩි බෙහෙත් ගබඩාවේ රාජකාරියට යොදවා සිටි අයෙක්.

කොල්ලයට ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා.

සැකකාර සැරයන්වරයාට හුංගම ප්‍රදේශයේ ගෙවත්තක් ඇති අතර එය බලාගන්නා ලෙසයි මෙම දෙවන සැකකරු වැඩ කර ඇත්තේ.

කොල්ලය අවස්ථාවේ සැකකාර සැරයන්වරයා, අනෙක් සැකකරු සහ මත්පැන් හලේ මුදල් අයකැමි අතර පොරබැදීමක්ද සිදුව ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේදී ගිනිඅවියෙන් ඉහළට වෙඩි තබා වෙළඳ සැලේ සිටි අය බිය කර ඇතැයිද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.