දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන්ව අපනයන වෙළෙඳපොළට යොමු කිරීම හරහා රටේ ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ප්‍රධානතම ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ කර්මාන්තකරුවන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීමයි.
ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වුණේ තමන්ගේ දේශීය නිෂ්පාදන අපනයනය කිරීමෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දැනට රට මුහුණ දීලා තියෙන විදේශ ණය පීඩනයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපීමෙන් මිදෙන්න ඇති එකම මාවත දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම පමණක්ම බවයි මෙහිදී අවධාරණය කළේ.
මේ සාකච්ඡාවේදී 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා කර්මාන්තකරුවන්ට දැනුම් දුන්නේ, නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔවුන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට අවශ්‍ය සියලු දත්ත කඩිනමින් රජය වෙත ලබා දෙන ලෙසයි.
එමෙන්ම, පොහොර සහ අනෙකුත් යෙදවුම් ලබා දීමේදී ඒ සඳහා වැයවන පිරිවැය සහ ලැබෙන අපනයන ආදායම අතර තියෙන සබඳතාවය විද්‍යාත්මකව බැලිය යුතු බවත්, අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වැයවන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ශුද්ධ ඩොලර් ආදායමක් රටට ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර, රබර් ක්ෂේත්රය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, එහිදී අනාවරණය වුණේ රටට විශාල වශයෙන් ඩොලර් ගෙන ආ හැකි මාර්ගයක් වුවත්, දැනට මෙරට නිෂ්පාදනය වෙන්නේ සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 50ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි.
කෙසේ වෙතත්, අගය එකතු කළ නිෂ්පාදන හරහා රබර් කර්මාන්තයේ අපනයන ආදායම 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3කින් පමණ ඉහළ නංවා ගැනීමේ හැකියාවක් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා.
රබර් වගාව ව්‍යාප්ත කිරීමට පවතින ප්‍රධාන බාධාවන් වන භූමිය සීමිත වීම සහ ශ්‍රමික හිඟයට විසඳුමක් විදිහට, අඩු ආදායම්ලාභී පිරිස් මේ වගාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් ගැනත් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
සාම්ප්‍රදායික ප්‍රදේශවලට අමතරව මොණරාගල සහ ඌව වෙල්ලස්ස වැනි ප්‍රදේශවල රබර් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, රබර් වගා බිම් පාම් ඔයිල් වැනි වෙනත් වගාවන් සඳහා යොදා ගැනීම වැළැක්වීමටත් මෙහිදී තීරණය කෙරුණා.
මේ අතර, ඉරාන වෙළෙඳපොළ සහ මැදපෙරදිග පවතින තත්ත්වය නිසා තේ අපනයනය සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉහළ ගොස් ඇති බවයි තේ අපනයනකරුවන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ.
විශේෂයෙන්ම ඉරානය සමඟ පවතින “තේ වෙනුවට තෙල්” බාටර් ගිවිසුමේ පවතින මූල්‍ය ගැටලු විසඳීමට විදේශ අමාත්‍යාංශය හරහා මැදිහත් වන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළා.
එමෙන්ම, අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන වැට් බදු ප්රතිලාභ ලබා ගැනීමේ ප්‍රමාදය මඟහරවා ගැනීමට, මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කිරීමටත් මෙහිදී එකඟතාව පළ වුණා.




