ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලබන මැයි දින පෙළපාළි සහ රැළි බහුතරයක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාතික ජනබලවේගය සංවිධාන කරන මැයි දින පෙළපාලි සහ රැළි බහුතරයක් ද පස්වරුවේ පැවැත්වෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මහරගමදී පැවැත්වෙන මැයි දින රැළිය සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වීමට නියමිතයි.

මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමගි ජනබලවේගයේ මැයි දින රැළිය පස්වරු දෙකට ආරම්භ කරන බවයි එම පක්‍ෂය පවසනවා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියාසිටියේ මෙවර මැයි රැළිය සදහා සිය පාක්‍ෂිකයන් පනස් දහසක් පමණ දිවයිනෙන් නන් දෙසින් පැමිණෙමින් සිටින බවයි.

කෙසේවෙතත් සමගි ජනබලවේගයේ මැයි දින රැළියට සිය පක්‍ෂය සහභාගි නොවන බව එක්සත් ජාතික පක්‍ෂය පැවසුවා.

එම පක්‍ෂය විසින් මැයි රැළියට එක්වන ලෙසට ආරාධනා කළේ ප්‍රමාදවී බවයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ.

එම ආරාධනාව ලැබෙන විට සිය පක්‍ෂය විසින් මැයි දිනය වෙනුවෙන් වැඩසටහන් සංවිධාන කර තිබූ බවද ඔහු පැවසුවා.

මෙවර එක්සත් ජාතික පක්‍ෂය රැළි හෝ පෙළපාලි නොපවත්වා අදට යෙදී ඇති පොහොය පිළිබදවද සැලිකිල්ලට ගනිමින් මැයි දිනය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අද දිනයේ මැයි දින රැළියක් පවත්වන්නේ නැහැ. එම පක්‍ෂයද අද දිනයේ ආගමික වතාවල නිරතවීමට තීරණය කළා.

පසු දිනක මැයි දිනයක් පවත්වන බවයි එම පක්‍ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

බොරැල්ල කැම්බල් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින රැලිය පවත්වනවා.

මේ අතර සර්වජන බලය අද සිය මැයි දින සැමරුම පවත්වන්නේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර මැයි පෙළපාලි සහ මැයි රැළි හේතුවෙන් අද දිනයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවා.