ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැත්වූ ජන රැළිය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදහස් දැක්වූවා.

ඒ, ඊයේ දිනයේ කහටගස්දිගිලියේ පැවැති ජන හමුවකදීයි.

"අපේ සමාජයේ ඉතාමත් ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි අනුරාධපුරයේ ඊයේ අපි දැක්කේ. එච්චරයි! රටේම එච්චරයි! චූටි ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? "හොරා කෑවට කමක් නැහැ, හිරේ යවන්න එපා." එහෙම තියෙනවාද? එහෙම තියෙන්න ඕනාද? එහෙම තියෙන්නේ නැහැ මතක තියාගන්න! ආ... නේද? ඒගොල්ලෝ හිතන්නේ මොකක්ද? හොරාට අත්පොඩි ගහනවා! සමහර අය පෙළපාලි යනවා "අපේ හොරා අපිට හොඳයි" කියලා. එහෙම... එහෙම ආණ්ඩු... එහෙම ඔය තමයි ඉතුරුවෙලා ඉන්න අන්තිම ගෝත්‍රික කණ්ඩායම, එච්චරයි! රටේම එච්චරයි! කහටගස්දිගිලියේ ඉන්නවාද? දූෂිතයන් පස්සේ යන අය? වංචනිකයන් පස්සේ යන අය? වංචනිකයන්ට දඬුවම් දෙන්න එපා කියන අය? වංචනිකයන් හිරේ දාන්න එපා කියන අය කහටගස්දිගිලියේ නැහැ, රටේම චුට්ටක් ඉන්නවා! හරිද? ඒ නිසා සමාජයට වගකීමක් තියෙනවා, අපි ආණ්ඩුවක් හැටියට... මම නීතිය ක්‍රියාත්මක... වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන්න, අපරාධකරුවන්ට දඬුවම් දෙන්න යාන්ත්‍රණය හදලා තියෙන්නේ!"

කෙසේවෙතත් සිය පක්‍ෂය සංවිධාන කළ අනුරාධපුර ජන රැළිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ අදහස් පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා දැක්වූයේ මෙවන් අදහස්.

"පළමුවෙන්ම ඒ රැලිය ලංකාවේ ආණ්ඩුවකට එරෙහිව — ආණ්ඩුවක් බලයට පත්වෙලා අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ ආණ්ඩු බලයට පළමු වරට පත්වෙච්ච අලුත් දේශපාලන ව්‍යාපාරයකට එරෙහිව ජනමතයක්, මහා රැලියක් නිර්මාණය වෙනවා කියන එක ඉතාම ලොකු දේශපාලන සිද්ධියක්. ඒ අභියෝගාත්මක දේශපාලන සංසිද්ධිය ඉතාම බලවත් විදියට අනුරාධපුර ජනසටන රැලිය විදියට අපි දැක්කා. ඒක හුන්ඩුවක් නෙමෙයි, ඒක දැවැන්ත, විශාල පිට්ටනියක්. ඒ වගේම පිට්ටනිය විතරක් නෙමෙයි සෙනඟ හිටියේ. අනුරාධපුර නගරයේ ජීවත්වෙන, අනුරාධපුර නගරය හරහා යන එන මහජනයා දැක්කා අනුරාධපුර නගරයේ මොන තරම් දැවැන්ත ජන සහභාගීත්වයක් තිබ්බද කියලා. ජනාධිපතිතුමාට ඒ රැලිය පුංචි එකක් නම්, ඒක එයා කතා නොකර හිටියා නම් හරිනේ? ඒ රැලිය කිසිදු දේශපාලන බලපෑමකින් තොර නම්, ඇයි ජනාධිපතිවරයා ඒ ගැන කතා කරන්නේ? ජනාධිපතිවරයා විසින්, රාජ්‍යයේ පළමු පුරවැසියා විසින් ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා නම්, ඒ විසින් තහවුරු වෙනවා නේද ඒක ලොකු 'Political Event' එකක් කියලා?"

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ පැවැත්වූ ජන රැළිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

"2022 මේ රට බංකොලොත් කරපු වරද නිවැරදි කරගෙන, රාජපක්ෂ කෙනෙක් නැවත ජනාධිපතිවරයෙක් බවට පත් කරන්න තරම් මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවේ අමාරුවක් නැහැ. එහෙම නේද අම්මේ?

මෙයා තමයි හොඳ කොල්ලා, ජනාධිපති කියලා කියන්න අත උස්සන්න පුළුවන් මිනිස්සු ඉන්නවා නම් ඒ බත් කන මිනිස්සු වෙන්න බැහැ. ඊයේ රැලිය ඔය මොනවා කරත්, සල්ලි තියෙනවානේ රාජපක්ෂ මහත්තයාලාට නේද? අපිට වගේ නෙවෙයි. ඔය බස් ටිකක් ගෙනැල්ලා රැලිය කරා. ඒවා ගැන හිතන්න එපා"