බගවන්තලාව - රාණිකාඩුව ප්රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්රදේශයේදී පාසල් ළමුන් ප්රවාහනය කරමින් සිටියදී අනතුරට ලක්වූ බස් රථයේ සිටි සිසුන්ගෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දස දෙනෙකු වැඩිදුරට ප්රතිකාර සදහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම බස් රථයේ සිටි සිසුන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව එම සිසුන් සියළු දෙනා පළමුව ඇතුළත් කෙරුණේ බගවන්තලාව ප්රාදේශීය රෝහලටයි.
එම රෝහලේ මේ වනවිට ප්රතිකාර ලබන සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එම රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ එම පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ කාර්මික දෝෂයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව රියදුරු විසින් බස් රථය නතර කර ගැනීම සදහා එය ප්රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා ඇති බව සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




