2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණය ප්‍රචාරණ කටයුතු සදහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් වැය කර මූදල් අවභාවිත කළ බව කියන සිද්ධියට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් වරෙන්තුවක් නිකුත් කරන ලෙස අද නියෝග කළා.

ඒ අනුව සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා එම වරෙන්තුව සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචිව සිටින බවත් ඊට අදාළව ජාත්‍යන්තර පොලිසිය වෙත ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළා.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් යොදවා ඌව පළාත් මැතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

මෙහි පළමු සැකකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි මැදමුලන, වීරකැටිය 114, වලව්ව ලිපිනයට ගිය බවත් ඔහු එහි නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම එම ලිපිනයේ ග්‍රාම නිලධාරිවරයාගේ සහ පවුලේ ඥාතීන්ගේ ප්‍රකාශ ලබා ගත් බවත් ඔහු මේ වනවිට ඇමෙරිකාවේ පදිංචි බවට අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු පදිංචි විදේශ ලිපිනයට වරෙන්තුව යොමු කිරීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඊට අදාළව විමර්ශන නිලධාරියාගේ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජාත්‍යන්තර පොලීසිය වෙත නිකුත් කිරීමට රතු වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස නියෝග කළා.