ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ආරම්භ වනවා.

අද සවස 06යි 52 ට යෙදෙන සුබ මොහොතින් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

ලබන 22 වනදා දක්වා දින 5ක් කුඹල් පෙරහැර පැවැත්වෙනවා. පළමු රන්දෝලි පෙරහැර 23 වැනිදා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත අතර, මේ මස 27 වැනිදා අවසන් රන්දෝලී මහා පෙරහැර වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අද සිට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ හත් දහස් පන්සියයකට වැඩි පිරිසක් එම රාජකාරි සඳහා යොදවන බවයි.
"විශේෂයෙන්ම මෙම දින 10 පුරා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහාත් විශේෂ රථ වාහන සැලසුම් කීපයක් සඳහාත් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිලධාරීන් 6,200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 564 දෙනෙක්, ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබේ ආරක්ෂාව සහ පහසුව තකා ඔබ වෙනුවෙන් මෙම කාලවකවානුව තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා."
මහනුවර නගරයේ ක්‍රියාත්මක කෙරෙන රථවාහන සැලසුම සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්වූවා.
"දැන් විකල්ප මාර්ග හැටියට අපි ගත්තොත්, විශේෂයෙන් කටුගස්තොට සිට පේරාදෙණිය හරහා කොළඹ, නුවරඑළිය දෙසට ගමන් කළ යුතු වාහන ඔබට පුළුවන් කටුගස්තොට පාලම අසලින් ගුහාගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කරන්නට. ඒ වගේම කොළඹ සිට මහනුවර හරහා කුරුණෑගල, මාතලේ, මහියංගණය දෙසට ගමන් කරන රථ වාහන ඔබට හැකියාවක් තියෙනවා පේරාදෙණිය ගුහාගොඩ මාර්ගයෙන් පැමිණිලා කුරුණෑගල දෙසට ඇවිල්ලා, මාතලේ දෙසටත් ඒ වගේම මඩවල හරහා මහියංගණය දෙසටත් ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම අපි මතක් කරන්නට අවශ්‍යයි විශේෂයෙන් මහනුවර සිට මහියංගණය, බදුල්ල දෙසට ගමන් කරන රථ වාහන ඔබට පුළුවන් මහයියාව බිංගෙය අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නෙකුඹුර හරහා බදුල්ල, මහියංගණය දෙසට ගමන් කරන්නට. ඒ නිසා මේ විකල්ප මාර්ග භාවිතා කිරීමෙන් ඔබගේ කාලය සහ ගමන් පහසුව කළමනාකරණය කරගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා."