ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු ”මාලදිවයින් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය” කොළඹදී ඉතා සාර්ථකව පැවැත්වුණා.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී දෙරටේ ආර්ථික අනාගතය පිළිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ඡා වී තිබෙනවා.
මාලදිවයින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම සමුළුව ඇමතූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව තම රටේ අත්‍යවශ්‍යම උපායමාර්ගික හවුල්කරුවෙකු බවයි.
අඩසියවසකට වැඩි කාලයක් දෙරට අතර පවතින දේශපාලන විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙන යාම තම අරමුණ බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
විශේෂයෙන්ම මාලදිවයින මේ වන විට ඉන්දියන් සාගරයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගෙමින් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, යටිතල පහසුකම් සහ ආහාර සුරක්ෂිතතාව වැනි ක්ෂේත්රවල ආයෝජනය කිරීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට විවෘතව ආරාධනා කර සිටියා.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ, 2025 වසරේ මෙරටට බලපෑ ‘දිට්වා‘ සුළි කුණාටුව වැනි අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතින බවයි.
එම ස්වභාවික විපතේදී මාලදිවයින් රජය ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක පරිත්‍යාගය දෙරටේ නොසැලෙන මිත්‍රත්වයට කදිම නිදසුනක් බව ඇය කෘතඥ පූර්වකව සිහිපත් කළා.




