මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ සිදුකෙරෙන උපත්පාලන කොපු හෙවත් කොන්ඩම් නිෂ්පාදනය අඩපන වෙමින් පවතිනවා.

විදෙස් පුවත් වාර්තාවල දැක්වෙන්නේ සැපයුම් දාමයන් අඩාල වීම නිසා අමුද්‍රව්‍ය හිඟයකට මුහුණදී ඇති බවයි.

එමෙන්ම නිෂ්පාදන පිරිවැය ඉහළ යාමද කොන්ඩම් නිෂ්පාදන කර්මාන්තයට බෙහෙවින් බලපා තිබෙනවා.

මෙය කර්මාන්තයට ප්‍රබල අභියෝගයක් බවටයි වාර්තා වන්නේ.

ඉන්දියාව වාර්ෂිකව කොන්ඩම් බිලියන හයකට වඩා නිෂ්පාදනය කරනු ලබනවා.

එය ඇමරිකානු ඩොලර් මිලියන 860ක් වටිනා ඉහළ නිෂ්පාදන ධාරිතාවක් සහිත වුවත් ඉන් ඇත්තේ ඉතා අඩු ලාභාංශයක් බවයි නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ.

කොන්ඩම් නිෂ්පාදනය සඳහා අමු රබර් කිරි ස්ථායී කිරීම සඳහා අවශ්‍ය වන සිලිකන් ඔයිල් සහ ඇමෝනියා යන අමුද්‍රව්‍ය අවශ්‍ය වනවා.

එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය බොහෝ නෞකා සඳහා වසා දැමුනා.

ඒ සමඟ පෙට්‍රොකෙමිකල් පාදක කරගත් අමුද්‍රව්‍ය සැපයුම් දාමයන් අඩාල වී තිබෙනවා.

කොන්ඩම් නිෂ්පාදකයන් උපුටා දක්වමින් ඉන්දීයන් එක්ස්ප්‍රස් පුවත්පත පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් සිලිකොන් ඔයිල්වල විශාල හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

මුම්බායි සහ නවදිල්ලිය වැනි ප්‍රධාන නගරවල ඔසුසල්වල දැනටමත් කොන්ඩම් තොග හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.