"මෛත්‍රී රාමක්‍රිෂ්ණන්" මේ දිනවල සමාජ මාධ්‍යයේ ඉමහත් කතාබහට ලක්ව සිටින රංගන ශිල්පිනියක්.

Netflix හි විකාශය කෙරෙන Best of the Best චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තැනැත්තියක්.

එහෙත් තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ මෛත්‍රී රාමක්‍රිෂ්ණන් තමන් කැනේඩියානු ජාතිකයකු බවත් දෙමළ ඊළාම් සංස්කෘතික පසුබිමක් සහිත තැනැත්තියක බවත් කියා සිටියා.

එය කළ මෙම ප්‍රකාශ හේතු වෙනුයි මේ වන විට සමාජ මාධ්‍යයේ ඇය ඉමහත් කතාබහට ලක්ව සිටින්නේ.

එසේ තිබියදී අවස්ථාවක් ලැබුණාහොත් ඉතා කැමැත්තෙන් ඇය සිය චිත්‍රපටයක් සඳහා සහභාගී කරවාගන්නා බව පවසමින් චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා facebook සටහනක් තබා තිබෙනවා.

උපුටා ගැනීම

ඊයේ මම Netflix හි "Best of the Best" චිත්‍රපටය නැරඹුවා. එය ඉතා සුන්දර යොවුන් (teenage) චිත්‍රපටයක්. එහි සිටින සියලුම තරුණ නළුවෝ සහ නිළියෝ ඇත්තෙන්ම දක්ෂයි, ඔවුන් ඉතා ස්වාභාවිකව මෙන්ම ලස්සනට රංගනයේ යෙදෙනවා. ඔවුන් දෙස බලා සිටීම පවා ලොකු ආශ්වාදයක්.
​මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් තිබෙනවා, ඒ අංජලී සහ මායා. මායාගේ චරිතය නිරූපණය කරන්නේ මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් (Maitreyi Ramakrishnan) නම් ඉතා හුරුබුහුටි, ආකර්ෂණීය තරුණ නිළියයි. ඇය සම්මුඛ සාකච්ඡාවකදී ඇගේ ජාතික අනන්‍යතාවය "තමිල් ඊළාම්" (Tamil Eelam) ලෙස විස්තර කිරීම නිසා අපගේ ෆේස්බුක් හි ඇතැම් පිරිස් තරමක් කලබල වී සිටින බවක් පෙනෙනවා.
​යුද්ධය නිසා ඇගේ දෙමාපියන් කැනඩාවට සංක්‍රමණය වූ බැවින් ඔවුන් ඩයස්පෝරාවේ (විදේශගත ජනගහනයේ) කොටස්කරුවන්. මෛත්‍රෙයි උපන්නේ කැනඩාවේ නිසා නිල වශයෙන් ඇය කැනේඩියානු ජාතිකයෙක්. (ChatGPT ඇයව විස්තර කරන්නේ ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත තැනැත්තියක ලෙසයි.)
​යුද්ධය හෝ වෙනත් හේතූන් මත ලොව පුරා සංක්‍රමණය වූ ජනයාගේ දරුවන්ගෙන් බොහොමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නයක් තිබෙනවා: "මම අයිති කොතැනටද? මම දැනට ජීවත් වන රටටද, නැතහොත් මගේ දෙමාපියන් පැමිණි රටටද?"
​ඇතැම් පිරිස් මෙම ප්‍රශ්නය ගැන වැඩිදුර නොසිතා තම නිල ජාතිකත්වය එලෙසින්ම භාරගෙන තමන්ගේ ජීවිතය කරගෙන යනවා. නමුත් මෛත්‍රෙයි වැනි ප්‍රසිද්ධ චරිතයකට මෙවැනි අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න ඇතැම් විට සංකීර්ණ වන්නට පුළුවන්.
​ඇය දෙමළ භාෂාව කතා නොකළද, ඇය තමන් දෙමළ ජාතිකයෙකු ලෙස හඳුන්වා ගන්නවා. ඇගේ පෙනුමෙන් ඇගේ දකුණු ආසියානු උරුමය පිළිඹිබු වෙනවා. ඇගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නොහැකි වූ නිසා එයින් පිටව ගිය අතර, ඇය හැදී වැඩුණේ එම රට සහ ඇගේ පවුලේ අතීතය පිළිබඳ කතාන්දර අසමින්. සමහර විට, එම කතා සහ අත්දැකීම් පදනම් කරගෙන ඇය තමාගේම වූ අනන්‍යතාවයක් ගොඩනගාගෙන තිබෙන්නට පුළුවන්.
​එය ඇගේ අයිතියක්. ඉතින් අපි ඒ ගැන වද විය යුත්තේ ඇයි?
​මට කවදා හරි අවස්ථාවක් ලැබුණොත්, මගේ චිත්‍රපටයකටත් ඇයව සම්බන්ධ කරගන්නවා. ඇය ඉතා දක්ෂ නිළියක්.

උපුටා ගැනීම අවසන්

මේ අතර මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සම්බන්ධයෙන් විවේචනය කරන අය පවසන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව සිටියදීත් ඇය තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුන්වාදීම ප්‍රතික්ෂේප කිරීම කණගාටුදායක තත්වයක් බවයි.

විවේචකයන්ගේ දරුණු ප්‍රතිචාර නිසා මෛත්‍රී රාමක්‍රිෂ්ණන් රංගනයෙන් දායක වන Best of the Best චිත්‍රපටයේ IMDB ශ්‍රේණිගත කිරීම් ද කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

එසේ තිබියදී ඇයට සහය දක්වන පිරිස් පවසන්නේ තම අනන්‍යතාව තීරණය කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් තිබිය යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාද ඇයට පක්ෂව අදහස් දැක්වුවා.

ඒ ඇය විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන අය ද හෙලා දකිමින්.