මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන ”කුමන්ත්‍රණය” නමැති චෝදනාවෙන් විත්තිකාරියක වශයෙන් නම්කර සිටි ඩේසි ෆොරස්ට් මේ වන විට නිදහස් කර ඇති නිසා තම සේවා දායකයාට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කළා.
ඒ අනුව සිය සේවාදායකයාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතා වලින් සඳහන් කර සිටියේ.
එම මූලික විරෝධතාවලට අදාළ ලේඛන ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට භාරදුන්නා.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩුවෙන් මුදාහරිනු ලැබුවේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව පැවසුවා.
එම තත්ත්වය විත්තිය විසින් සඳහන් කරන කරුණට අදාළ නොවන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන සඳුදා කැඳවන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා ඉල්ලා සිටියා.
ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව ලබන සඳුදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා ඊට අදාළ විත්තියේ ස්ථාවරය අඟහරුවාදා ඉදිරිපත් කරන ලෙසත් නියම කළා.
ඉන් අනතුරුව මෙම මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා කියා සිටියේ.




