අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් රටවල් 13කට සහ යුරෝපා සංගමය වෙත නව ආනයන බදු පැනවිම හේතුවෙන් ශ්‍රි ලංකාවට වාසියක් හිමිවනු ඇතැයි ආර්ථික විද්වතුන් පවසනවා.
ඒ අනුව වැඩි අපනයන ප්‍රමාණයක් අමෙරිකාව වෙත යොමු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ.
''අපි සමඟ තරඟකාරීව ඇමරිකාවට භාණ්ඩ යවන, විශේෂයෙන් රෙදිපිළි හා ඇඟලුම් වගේ දේවල් යවන රටවල් ගත්තොත්, ඒ රටවල් කිහිපයකටත් මේ බදු පැනවීම සිදු කරලා තියෙනවා. එහෙනම් ඒ රටවලින් අනාගතයේදී ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ, එහෙම නැත්නම් ඇමරිකාව විසින් ඒ රටවල් වලින් ආනයනය කරනු ලබන භාණ්ඩවල මිල යම් ආකාරයකට ඉහළ යන්නට පුළුවන්. ඒ මිල ඉහළ යාම මත ඒ භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම යම් ආකාරයකට පහළ යන්නට පුළුවන්. ඒක එතකොට ආදේශ කිරීමට සිදුවන්නේ ලංකාව වගේ රටවල් වලට. එහෙනම් ලංකාවේ අපනයන සඳහා ඇමරිකාව විසින් මේ වෙනකොට අපේ සමස්ත අපනයන වලින් සියයට 23ක්, 24ක් වගේ ප්‍රමාණයක් අපි යවන්නේ ඇමරිකාවට. ඉතින් මේ ප්‍රමාණය තවදුරටත් වැඩිවීමේ හැකියාව තියෙනවා.
ශ්‍රී ලංකාවේ ඇගළුම් ක්ෂේත්රය තවදුරටත් පුළුල් කර මෙරටට ලැබෙන ඇනවුම් බාධාවකින් තොරව ලබාදීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
''මේකෙදි වැදගත් වෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනකොට අපිට සැපයුම වැඩි කිරීමේ හැකියාව තියෙනවද කියන කාරණය. ඉතින් අපි දැන් ඒ සඳහා තමයි සූදානම් විය යුත්තේ. විශේෂයෙන් අපේ ගාමන්ට් සෙක්ටර් එක තවත් පුළුල් කරලා දැන් මේ අපිට එන ඕනෑම ඉල්ලුමක් සපුරාලන්නට පුළුවන් මට්ටමකට ගේන්නට හැකියාව තියෙන්නට ඕනේ. ඒ තුළින් තමයි ඇත්තටම ලංකාවට යම් වාසියක් මෙතනින් ලැබෙනවා නම් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ''
ලද අවස්ථාවෙන් ශ්‍රී ලංකාව උපරිම වාසි ලබාගැනීමට නම් තවදුරටත් ලක් රජය ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙලෙස පැහැදිලි කළා.
''රජය මේ වෙනකොටත් අරගෙන තියෙන ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපේ රට මේ ලිස්ට් එකට ඇතුළත් නොවුණේ. ඒක නිසා දැන් නිෂ්පාදන ක්ෂේත්රය තුළ රජය රෙදිපිළි හා ඇඟලුම් සැපයීමක් හෝ ඒ වගේ දේවල් කරන්නේ නැහැ. පෞද්ගලික අංශය තමයි ඒ දේවල් සිද්ධ කරන්නේ. ඉතින් මම හිතන්නේ රජය විශේෂ දේවල් සිදු කළ යුතු නැහැ. පෞද්ගලික අංශයට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ අවස්ථාවෙන් ඇත්තටම උපරිම ප්‍රයෝජන ගන්න. රජය කරන්නේ පහසුකම් සැපයීමක් පමණයි. ඉතින් නිෂ්පාදනය කරන්නේ, බෙදා හරින්නේ, අපනයනය කරන්නේ පෞද්ගලික අංශය විසින්. අපිට පෞද්ගලික අංශයට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ ක්ෂේත්රයේ නිරත වෙලා ඉන්න අයට, අලුත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් යම් ආකාරයකට මේ තුළට අවතීර්ණ වෙන්නට. රජයට පුළුවන් මේ අවස්ථාවේ විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, මේ දක්වා අපනයන ක්ෂේත්රයට යොමු නොවෙච්ච අය කෙරෙහි මේ තොරතුරු ලබලා දීලා යම් ආකාරයකට ඔවුන් සවිබල ගන්වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් තමයි රජයේ මැදිහත්වීමක් සිදු කළ යුතු වන්නේ.
නිෂ්පාදන අංශවල පවතින අධික ධාරිතාව සහ නිෂ්පාදන පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් රටවල් 13කට සහ යුරෝපා සංගමය වෙත මෙලෙස නව ආනයන බදු පනවා තිබෙනවා.
ඒ අනුව බදු පැනවූ ලැයිස්තුවට ඇතුළත් වන්නේ යුරෝපා සංගමය සහ චීනය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය, ජපානය සහ ඉන්දියාව යන රටවල්. මීට අමතරව බ්‍රසීලයෙන් ආනයනය කරන සීනි සහ නිමි ගුවන් යානා සඳහාද නව බදු පැනවීමට අමෙරිකාව සැලසුම් කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම නව ලැයිස්තුවට කැනඩාව ඇතුළත් නොවීමද කැපී පෙනෙනවා.
මෙම නව තීරණය යටතේ වැඩිම බදු ප්‍රතිශතයක් එනම් සියයට 40ක් දක්වා බද්දකට මුහුණ දීමට සිදුව ඇත්තේ චීනයටයි.
වියට්නාමයට සියයට 35ක් දක්වාද, සෙසු රටවලට සියයට 15ත් 25ත් අතර බදු ප්‍රතිශතයක්ද පනවා තිබෙනවා.
කෙසේවෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ඇතැම් රටවල් සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුම්වල පවතින බදු සීමාවන් හේතුවෙන්, සැබෑ ලෙසම අය කෙරෙන බදු මීට වඩා අඩු වනු ඇති බවයි වාර්තා වන්නේ.




