දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමතව මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රාජිත සේනරත්න මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මස දෙවනදා දක්වා තාවකාලිකව ලිහිල් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කළා.