විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් පළමු ස්ථානය දිනාගත් සිය පුත්‍රයා පිළිබද තමන් බෙහෙවින් සතුටු වන බව රුමේෂ් තරංගගේ මව පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ සිය පුත්‍රයා මෙම තරගයෙන්ද ජයග්‍රහණය කරනු ඇතැයි තමන් දැඩි අපේක්‍ෂාවෙන් සිටි බවයි.


විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් රුමේෂ් තරංග පළමු ස්ථානය දිනාගත්තේ මීටර් 91යි දශම 9ක ඉහල දක්ෂතාවක් දක්වමින්.

ඒ ඒ ඉසව්වේ ලෝක මට්ටමේ ඉහළම දක්ෂතා සහිත කිහිපදෙනෙකුට පමණක් සහභාගී විය හැකිවන පරිදි ලෝක මළල ක්‍රීඩා සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධාන කරනවා.

ඉසව්වේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් 8දෙනෙකුට පමණක් ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබුණා.

රුමේෂ් තරංග මෙම තරඟයට සුදුසුකම් ලබාගත්තේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ක්‍රීඩකයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙසයි.

සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කිරීමට එහිදී ඔහු සමත් වුණා.

තරඟාවලිය පැවැත්වෙන්නේ හංගේරියාවේ බූඩාපේස්ට්හි දීයි.