අනුරාධපුර රුවන්වැලි මහා සෑය වටා තිබෙන මල් ආසන ඉවත් කිරීමට යන බවටත් ඒ වටා ආරක්‍ෂිත වැටක් ඉදිකිරීමට යන බවටත් මේ වනවිට සමාජ සංවාදයක් ඇති වී තිබෙනවා.

මෙමගින් බෞද්ධ උරුමයට හානි කෙරෙන බවයි ඉදිරිපත් වී ඇති යෝජනාවට විරෝධය පළ කරන පාර්ශව පවසන්නේ.

රුවන්වැලි මහා සෑය වටා ආරක්‍ෂිත වැටක් ඉදිකරන බව දැනට ගැසට් කර තිබෙන අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේද දැක්වෙනවා.

ඒ අනුව නෙත් නිවුස් ඇති වි තිබෙන සංවාදය ගැන ආණ්ඩුවෙන් ඍජුවම ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන්නේ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතායි.
"පුරාවිද්‍යාත්මක සංකල්ප අනුව අපේ තිබෙන ඉපැරණි ස්ථානයන් සංරක්ෂණය කරගැනීමත්, ඒ වගේම සමහර ස්මාරකයන් ආරක්ෂා කරගැනීමත් අත්‍යවශ්‍ය සාධකයකුත් තියෙනවා. යම් යම් අවස්ථාවන් වල ඒ ඉපැරණි පෞරාණික ස්ථානයන් සංරක්ෂණය කිරීම සඳහා අපේ පුරාවිද්‍යාත්මක සාධක වලට හානියක් නොවෙන එවැනි ආකාරයේ ඒ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බලයක් තිබෙනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ කටයුතු පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. කොහෙත්ම අපේ බැතිමතුන්ට ඒ වගේම අපේ සංස්කෘතියට බාධාවක් නොවෙන විදිහට ඒ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. සියල්ල සිද්ධ වෙන්නේ මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්, ඒ වගේම ඒ ඓතිහාසික ස්ථාන වල සුරක්ෂිතතාවය වෙනුවෙන් මිසක් කිසිම වේලාවක වෙනත් තත්වයක් තුළ නෙවෙයි කියන කාරණය පැහැදිලිව මේ වෙලාවේදී කියන්න කැමතියි."

කෙසේවෙතත් චෛත්‍යයක් වටා ආරක්‍ෂිත වැටක් ඉදිකිරිම එහි පෞරාණික වටිනාකමට හානි කරන බවත් ඊට අමතරව එමගින් බෞද්ධ උරුමයට පහර ගසන බවද දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

Neth News YouTube නාලිකාවේ ඪසර්ක ඕකන විශේෂාංගය වෙනුවෙන් ඩිල්ෂාන් සඳකැකුළු මඩවල සමග සංවාදයකට එක්වෙමිනුයි ඔහු ඒ බව පැවසුවේ.
"පුරාවිද්‍යාත්මක ඇසින් කෙසේවත් මේක සාධාරණීකරණය කරන්න බැහැ. මොකද පුරාවිද්‍යාත්මකව දැන් මේ තියෙන සලපතල මළුව, ඇත් පවුර, ඒ තියෙන වැලි මළුව, ඒ ඒ ආකාරයට තමයි ඓතිහාසිකව මේක තිබුණේ. එතකොට ඒක ආරක්ෂා කරන්න ඕනේ. මිනිස්සු වන්දනාමාන කරනවා, Venice Convention එකේ ඉතා පැහැදිලිව තියෙනවා වන්දනාමාන කරන ස්ථාන ස්මාරකයන් ලෙස බවට පත් කිරීමේදී මොකක්ද වෙන්නේ, වන්දනාමාන කරන ඒ ආගමික කණ්ඩායම් වල අයිතිය නැති වෙනවා. ඒක නැති කරන්න බැහැ කියන එක. එතකොට මල් ආසන තියලා පුද පූජා පැවැත්වුවොත් තමයි ඒ අයිතිය තහවුරු වෙන්නේ. දැන් ඔබ පටන් ගන්නකොට මං ඉදිරිපත් කරපු කෙටි ප්‍රශ්න වලට උත්තර දෙමින් කියනවා මල් ආසන ඉවත් කරන්න යනවා කියලා. පැහැදිලිවම. හැබැයි මේ ගැසට් එකේ කොහෙවත් එහෙම එකක් සඳහන් වෙන්නේ නැහැ. නැහැ මේ ගැසට් එකේ ඒක කියන්නේ නැහැ. මේක කිව්වොත් එහෙම මේක ආයි මේක දශමයක්වත් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඔබ දැනට ඔබ හෙට ගිහිල්ලා බලන්න දැනටමත් මල් ආසන ප්‍රමාණයක් එළියේ තියෙනවා. සමහර මිනිස්සු මල් සකස් කරන්න ඒවා පාවිච්චි කරනවා, සමහර වෙලාවට මල් පූජා කරලත් යනවා, පිළිම වහන්සේලාත් වැඩ ඉන්නවා, කිරියාහාරත් ඒවායේ පූජා කරලා තියෙනවා. දැනටමත් ඉන්දියාවේ මේ වැඩේ කරගෙන යනවා. ඉන්දියාවේ කුශිනගර් වලට මං මෑත දවස මෑත කාලේ ගියා මේ මේ මාස කිහිපයකට කලින්. කුශිනගර් වල 80 ගණන් වල තිබුණු මල් ආසන ඉවත් කරලා. දැන් මල් අරන් ගියාම බෞද්ධයෝ, හින්දු ආගමිකයෝ ටිකක් ඉන්නවා ආවතේව කරන, මල් ටික අරගෙන පිළිමයට විසි කරනවා. එතකොට මම රණ්ඩු කරා අපි මල් විසි කරන්නේ නැහැ, අපි මල් ආසනයක පූජා කරනවා. නැහැ මෙතන මල් ආසන නැහැ. එතකොට මල් ආසනය ඉවත් කරන්නේ බෞද්ධ අයිතිය නැති කරන්න."

අනුරාධපුර පූජා නගරයේ සිද්ධස්ථානවල කිරි ආහාර පූජාව සදහා මැටි බදුන් තහනම් කරන විධිවිධානයක්ද දැනට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ සදහන් වනවා. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ මෙයද බෞද්ධ උරුමය අභියෝගයට ලක් කරන්නක් බවයි.
"කිරි ආහාර පූජා කරන සම්ප්‍රදායානුකූල විදියක් තියෙනවා. ඒ ඒ සම්ප්‍රදායට ඒ අනුව ඒක කරන එක වළක්වන්න, කිරියාහාර පූජා... මැටි මැටි බඳුන නොමැතිව දිරාපත්වන ද්‍රව්‍යයකින් සකස්කරන ලද යම් යම් භාජනයක කිරියාහාර පූජා කරහම එන ඉන්වන හානිය, අගතිය මොකක්ද? නැහැ, ඒක අපේ මල් පූජා කරන්නේ මල් වට්ටියක. කිරියාහාර පූජා කරන්නේ කිරියාහාර පූජා කරන හට්ටියක, පාත්තරයේ සංකේතවත් වෙනවා. එතකොට මේ මේ මේ සම්බුද්ධ ශාසනයේ මේ සම්ප්‍රදායන් තියෙනවා, වත්පිළිවෙත් තියෙනවා, වැඳුම් පිඳුම් කරන ක්‍රමයක් තියෙනවා. එතකොට සියුම්ව ඒවා වෙනස් කරන්න... ඇයි සම්ප්‍රදාය, ඇයි ඇයි සම්ප්‍රදායන් කරතියාගෙන යන්න ඕනේ? කාලානුරූපීව සම්ප්‍රදායන් වෙනස් විය යුතු නැද්ද? පොලිතීන්, පොලිතීන් ප්‍රශ්නයක් නැහැ. පොලිතීන් අරන් යන එක වැරදියි. මල් වුණත් දාගෙන යන්න එපා කියලා කියන්න පුළුවන්, ඒක වරදක් නැහැ. මේ සමහර සුළු දේවල්, කිරියාහාර පූජා කරන්නේ බොහොම සුළු පිරිසක්. මැටි කියන්නේ පොළොවට පස් වෙනවා. ඒවා කුඩු කරලා අඹරලා කොම්පෝස්ට් එකටම දාන්නත් පුළුවන්. දැන් මේවා සුළු ප්‍රශ්න වගේ පෙනුනට, මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ අර අපේ වත්පිළිවෙත් අදෛර්යමත් කිරීම, චෛත්‍ය ආසන්නයේ මල් පූජා කරලා වන්දනාමාන කිරීම වළක්වලා මල් පූජා කරන එක එළියට යවලා, ඊට පස්සේ චෛත්‍ය වටේ කැරකැවිලා නරඹලා යන සංස්කෘතිය ඇති කිරීම, එතකොට තමයි අර ස්මාරක සංස්කෘතිය, සංචාරකයා ඇතුලට ඇවිල්ලා, සංචාරකයාට මල් අදාල නැහැ, සංචාරකයා අනිත් අය වගේම මේක දිහා බලලා යනවා."

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කළා.
"ප්‍රායෝගිකව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔවුන්ගේ තියෙන නිර්ණායකයන් ඉදිරිපත් කරලා තිබෙනවා ඒ ස්ථාන සංරක්ෂණය කිරීම වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. නමුත් අපි විශ්වාස කරනවා ඒ සියලු නිර්ණායකයන් සහ මාර්ගෝපදේශයන් පවතින සමාජයත් එක්ක කොයි තරම් ප්‍රායෝගිකද කියන කාරණය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. ඒ නිසා ගැසට් නිවේදන මගින් හෝ එහෙමත් නැත්නම් නිර්ණායකයන් හරහා මග පෙන්වීම් හරහා හෝ යම් යම් කරුණු කාරණා දක්වලා තිබුණත්, ප්‍රායෝගිකව පවතින තත්වයට අනුරූපීව ගැලපා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව ගැටළුවක් වෙන්නේ නැහැ. සමාජයේ අදහස් සැලකිල්ලට ගනිමින් තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ."

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සමග කළ සම්පුර්ණ සංවාදයත් අනුරාධපුර පූජා භූමි සැලැස්ම සම්බන්ධයෙන් ඇති විරෝධතා පිළිබද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමග කෙරුණු Viral Talk සම්පූර්ණ සංවාදයත් පහතින් නැරඹිය හැකියි.