වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමග තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමට අදාළ පොලිස් පරීක්ෂකයාගේ වැඩ තහනම් කිරීමට පියවර තිබෙනවා.
අදාල නිලධාරියාගේ ක්රියා කලාපයෙන් ශ්රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින්, එම ක්රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පුර්වාදර්ශයක් වන බැවින් සහ තවදුරටත් සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බැවින් ආයතන සංග්රහයේ වගන්ති ප්රකාරව ක්රියා කරමින් වහාම ක්රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කළ බවයි පොලිසිය පැවසුවේ.
මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනය ගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම පොලිසියේ මූලික අරමුණ බවත් නීතිය හා විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන අතර, මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිගරුකව පෙනී සිටීමට ශ්රී ලංකා පොලිසිය බැඳී සිට්න බවයි පොලිසිය නිවේදනය කළේ.



