ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සදහා අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු ලබන 10 වනදා දක්වා මෙරට රැදි සිටින බවයි වාර්තා වුණේ.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඔහු සිය නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතයි.

පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු - ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සංචාරයේ දී සමාලෝචනය කරනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීම ද විශේෂත්වයක්.

මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව මෙම සංචාරය අතරතුර රාජ්නාත් සිං මහතා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථාවනූකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.