වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එම සංගමයේ සභාපති සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන් සඳහා වෙන්කර ඇති රුපියල් 600 ක ගමන් වියදම් දීමනාව වසර 08කින් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

''ගෙවල් කුලී සහ ගමන් නිදන් දීමනාව අවුරුදු අටක් තිස්සේ වැඩි නොකිරීමත්, 2024 වර්ෂයේ කැබිනට් අනුමැතිය ලැබී එම දීමනාව වෙනුවට ඉන්ධන ලීටර 20කට සමාන දීමනාවක් දීම සඳහා ලබා දී තිබූ කැබිනට් අනුමැතිය ලබා දීමට නියමිතව තිබූ මුදල මේ වනතුරු ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීමට විරෝධය දැක්වීමක් වශයෙන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය සඳුදා සහ එකොළොස් වෙනි අඟහරුවාදා අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට මේ වන විට තීරණය කරලා තිබෙනවා. ඒ අනුව 10 සහ 11 දෙදින තුළ ලංකාවේ කිසිම ග්‍රාම නිලධාරීවරයෙක් රාජකාරියට වාර්තා කරන්නේ නැහැ. ඔවුන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී සිටින බව මේ මොහොතේදී අපි දන්වා සිටිනවා. මේ වනතුරු පවතින රජයේ සහ පරිපාලන බලධාරීන් එය දිනෙන් දින කල් යවමින්, කල් මරමින්, ප්‍රමාද කරමින් ග්‍රාම නිලධාරීන්ට මෙම දීමනාව ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට විරෝධය දැක්වීමටයි 10, 11 කියන මේ දින දෙක තුළ ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා කරන්නේ නැත්තේ. කිසිම ග්‍රාම නිලධාරීවරයෙක් කිසිදු රාජකාරියක් කරන්නේ නැහැ. ඔවුන් සියලුම රාජකාරිවලින් ඉවත් වෙලා මේ සඳහා විරෝධය දැක්වීම කරනවා කියන එක මේ මොහොතේදී දන්වා සිටිනවා. ඒ නිසා අපි කනගාටු වෙනවා අපේ සේවාලාභීන්ට. අපේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඔවුන්ට යම් අපහසුතාවයක් පත් වෙනවා නම්, අපි මේ මොහොතේදී අපේ සේවාලාභීන් වෙනුවෙන් මේ මොහොතේ කනගාටුව ප්‍රකාශ කරනවා. ජ්‍යෙෂ්ඨ රාජකාරි බහුතරයක නිරත වෙන, විශේෂ නිලධාරියෙක් විදියට ග්‍රාම නිලධාරීවරයාට සොච්චම් දීමනාවක් ලබා දීලා වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රුපියල් 6,000ක, 7,000ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් අපටත් ගැටලුවක් තියෙනවා. මේ නිසා තමයි අපි දිගින් දිගටම මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ අපටත් සෙසු රජයේ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වගේම අපටත් සාධාරණ දීමනාවක් මේකට ලබා දෙන්න කියන එක. අපේ බලධාරීන්ගෙන් ඇහුවොත් බලධාරීන් මේ බෝලය මුදල් අමාත්‍යාංශයට පාස් කරනවා. මුදල් අමාත්‍යාංශයට පාස් කරොත් දේශපාලන අධිකාරියට පාස් කරනවා. දේශපාලන අධිකාරියට පාස් කරොත් ඒක 2027, 28, 26 අයවැයෙන් දෙනවා කියලා අයවැයට පාස් කරනවා. ඉතින් මේක අර බාලගිරි දෝෂය වගේ තමයි.''