ඊයේ දිනයේ සිට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
එමෙන්ම ඇතැම් මාර්ගවල ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.
ඒ, මාර්ග ජලයෙන් යටවීම සහ මාර්ග මතට ගස් කඩාවැටීම හේතුවෙන්.
ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හලාවත මහරෝහලේද කොටසක් ජලයෙන් යටවී තිබෙනවා.
ඒ අනුව එම රෝහලේ වාට්ටු තුනක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර ඇත්තේ.
මේ අතර ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හලාවත සහ අවට ප්‍රදේශවලට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව හලාවත ප්‍රදේශ කිහිපයක මාර්ගමතට ගස් කඩා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවේ.
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
ඒ, එම මාර්ගය මතට ගසක් කඩා වැටීම හේතුවෙන්.
ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාදම්පේ පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
කෑගල්ල මාර්ගය දෙහිඕවිට ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත් පැවසුවේ.
මේ අතර පැවති අධික වැසි හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කටයුතුවලට බාධා එල්ල වුණා.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් , සාජා නුවර සිට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් , අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයක් සහ කුවේට් සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ගුවන් යානයක් වශයෙන් ගුවන් යානා 06 ක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණා.
අලුයම 03.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානය සහ අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කිව්.ආර්.- 658 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කෙරුණා.
මීට අමතරව සාජා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අලුයම 02.30 ට ගොඩබැස්සවීමට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානය සහ අලුයම 04.00 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජී.9.- 502 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු ටී කේ ජි කපිල පැවසුවේ.
එමෙන්ම 3.30 ට ගොඩබැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානය සහ කුවේට් රාජ්‍යයේ සිට අලුයම 04.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.9.- 551 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණා.
මීට අමතරව අලුයම 04.45 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අලුයම 03.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1171 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් නුවර ගුවන් තොටුපොළ වෙත යොමු කෙරුණා.
එමෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට අලුයම 04.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානය ද යළිත් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණා.
කෙසේවෙතත් එම ගුවන් යානා අද පෙරවරු අටට පමණ යළි කටුනායක ගුවන් තොටුපොල වෙත ගොඩබැස්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ ජි කපිල පැවසුවේ.
මේ අතර කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද සැලකියයුතු වර්ෂාපතනයක් පතිත වූ බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා.
පවතින වර්ෂාවත් සමග එම ජලාශවල පහතවැටී තිබු ජල මට්ටම ඉහළ යමින් පවතින බවද ඔවුන් කියාසිටියා.
මේ අතර කළු සහ කැළණිගගේ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පහත් බිම් මේ වනවිටත් ජලයෙන් යටවී තිබෙනවා.
එම ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යට විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම කැළණි ගගේ පහත්බිම් ආශ්‍රිතව ඉදිරියේදි සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ.
මේ අතර නිරිතදිග මෝසම විටින් විට සක්‍රීය විය හැකි බැවින් දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.
තවද උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට පස්වරු හය දක්වා නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
ඒ යටතේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තුන්වන මට්ටමේ එනම් “ඉවත්වන්න” යන නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි.
දෙවන මට්ටමේ අනතුර ඇගවිම වන “අවදානයෙන් සිටින්න” යන අනතුර ඇගවීම තවදුරටත් බලාත්මක වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම ප්‍රදේශ සඳහායි.
එමෙන්ම පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” අනතුරු ඇඟවීම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්‍රදේශ සඳහා බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
මීට පෙර නායයෑමේ අවදානම් ලක්‍ෂණ මතුවූ ප්‍රදේශවල ජනතාවද පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළයුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පැවසුවා.




