විපක්ෂයේ කණ්ඩායම් යළිත් එකට එක්ව කටයුතු කිරීම කිසිසේත්ම ආණ්ඩුවට තර්ජනයක් නොවන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් එකට එක්ව සිටින්නේ පසුගිය ආණ්ඩු සමය තුළ සිදු වූ වංචා දූෂණවලට නීතිය ක්‍රියාත්මක කිරීම නතර කර ගැනීමේ අරමුණින් බවයි.

නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

සචිනි : "ඇයි මේ ආණ්ඩුව හදිස්සියේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන්නේ?"

අමාත්‍යවරයා: "හදිස්සියක් නැහැ. අපි අධිකරණ පද්ධතිය විධිමත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඡන්දෙට අපේ තිබුණු ප්‍රධාන පොරොන්දුවක් නෙමෙයි නීතියේ, විධානයේ, ආධිපත්‍යය තහවුරු කරන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි වංචා, දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම අපි දිගට කියපු කතා ටිකක් ඔබ හරියට මං හිතන්නේ ඇනලයිස් කරලා ඇති කියලා. අපේ ජනාධිපතිතුමාගේ කතාවල දිගටම තිබුණා මේ අධිකරණ පද්ධතියේ අකාර්යක්ෂමතාවයක් තිබෙනවා. මෙහෙ ක්‍රමවේදයක් තියෙනවා, නඩු ගොඩගැහිලා තියෙන්නේ කියලා.

ඉතින් මේ සියල්ල විධිමත් කරන්න තමයි අපිට ජනවරම ලැබිලා තියෙන්නේ. තව ක්‍රියාමාර්ග ගොඩක් අරගෙන තියෙනවා. අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. උපකරණ ගන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඊට පස්සේ පොලීසියට අදාළ කටයුතු අරගෙන තියෙනවා. අධිකරණය ගත්තොත් අධිකරණවලට පහසුකම් දෙන්න, ඒ වගේම අධිකරණ ප්‍රමාණය වැඩි කරන්න, විනිශ්චයකාරතුමන්ලාගේ සංඛ්‍යාව වැඩි කරන්න... ඔය වගේ ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තියෙනවා. ඒකේ එකක් තමයි මේ විනිශ්චයකාරතුමන්ලාගේ වයස වැඩි කරන එක, විශ්‍රාම වයස දීර්ඝ කරන එක.

අධිකරණ පද්ධතිය මේ විධිමත්භාවයට පත් කරන්න අපි පනත් තොගයක් සම්මත කරලා තියෙනවා. ඉතින් ඒ ක්‍රියාමාර්ගවල එකක් පමණයි මේක. හදිස්සියේ, හදිමුදියේ වෙන මුකුත් නැතුව මේක විතරක් ගේනවා එහෙම නෙවෙයි. අපි ගන්න ක්‍රියාමාර්ගවල එකක් මේක."

සචිනි : "ඇයි එහෙනම් මේ පාර්ශ්ව රැසක් මෙයට විරෝධය පළ කරන්නේ? දැන් විපක්ෂය..."

අමාත්‍යවරයා: "ආණ්ඩුව ගන්න බොහෝ දේවල්වලට... අපේ ආණ්ඩුව විතරක් නෙවෙයි, කලින් ආණ්ඩුවලත් එහෙමයි... අධිකරණ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, අපිට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්, ජල සම්පාදන ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්, ඕනෑම එකක සමහර තීන්දු තීරණ ගනිද්දී ඒකට විරුද්ධ වෙනවා. සමහර පාර්ශ්ව විරුද්ධ වෙනවා. විරුද්ධ අදහස් තිබෙනවා, විවේචනය කරනවා. ඒවා එක එක පදනම්වලින් එන්න පුළුවන්. අපි රටක්නේ, ජනතාවක්නේ... මේ මිලියන 20ක් ඉන්න ජනතාවක්. එතකොට මිලියන 20ක් කිව්වහම විවිධ මත තියෙන කට්ටිය ඉන්නවා. විවිධ පදනම් මත හදාගත්ත කණ්ඩායම් ඉන්නවා, ඔවුන් ඔවුන් ඒ පදනම් මත විවේචනය කරනවා. මේ මේ එක එක සඳහා විරුද්ධ වෙනවා.

ඒ නිසා විරුද්ධ වෙන වගේම මේවට කැමති, මේකට ආශීර්වාද කරන කණ්ඩායමුත් ඉන්නවා. මං කියන්නේ මේ කටයුත්තේදී විතරක් නෙවේ, ඕනෑම දේකදී. ඒ නිසා එහෙම අදහස් තිබෙනවා..."

සචිනි : "අපි දැක්කා පහුගිය දවස්වල විපක්ෂ කණ්ඩායම් නැවත එකතු වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ සජිත් ප්‍රේමදාස මහත්මයා, ඒකට නාමල් රාජපක්ෂ, එතකොට පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල... මේ ඔක්කොම නැවත එකතු වීමක් අපි දකිනවා. ආණ්ඩුවට දැවැන්ත තර්ජනයක් නෙවෙයිද මේ විපක්ෂයේ කණ්ඩායම් නැවත මෙහෙම එකතු වීම?"

අමාත්‍යවරයා: "නැහැ, අපිට ආණ්ඩුව විදිහට නෙවෙයි තර්ජනයක් නෙවෙයි. අපි බලන්න ඕනේ මේ කණ්ඩායම් එකතු වෙන පොදු සාධකය මොකක්ද කියලා. මේ ඉන්න කණ්ඩායම්... මෙතන ඉන්න පක්ෂ ගණනාවක් ඉන්නවා, ප්‍රබල චරිත ගණනාවක් ඉන්නවා. මොවුන් මොවුන් සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ අපි විශ්ලේෂණය කරොත් පහුගිය අවුරුදු 4-5කට වැඩි ඈත ඉතිහාසයකට යන්න ඕනේ නැහැ... රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන මොනවාගේ කතාද කියලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මොනවාද කියලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මොනවාද කියලා තියෙන්නේ? උදය ගම්මන්පිල සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මොනවාද කියලා තියෙන්නේ?

මේ එක්කෙනෙකුට එක්කෙනෙක් නැති පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයෝ... ඇයි මේ එකතු වෙලා තියෙන්නේ? එකතු වෙච්ච පොදු සාධකය අපි බලන්න ඕනේ. පොදු සාධකය තමයි, ඔවුන්ට දැන් ඔවුන් රාජ්‍ය බලය අවභාවිත කරලා තියෙනවා, ඔවුන් මහජන ධනය අවභාවිත කරලා තියෙනවා, ඔවුන් වැරදි කරලා තියෙනවා, ඔවුන් බලයේ ඉද්දී බලයෙන් ඒවා වහගෙන ඉඳලා තියෙනවා. දැන් අධිකරණ පද්ධතිය, නීතිය පසිඳලන ආයතන ස්වාධීන වෙලා තියෙනවා, දැන් ඔවුන්ට ක්‍රියාමාර්ග ගැනෙමින් තියෙනවා..."

සචිනි : "නමුත් දැන් ඔබ ඔය කියන ඔක්කොම ප්‍රකාශ අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන්, මන්ත්‍රීවරුන්ගෙන් අපි අහනවා. මෙහෙම අවභාවිත කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, ඒක තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ... හැබැයි ක්‍රියාමාර්ග අරන් තියෙනවාද?"

අමාත්‍යවරයා: "නැහැ, දැන් මේ වෙනකොට ක්‍රියාමාර්ග කියන්නේ... අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි නීතියට ඉඩ දෙන එක, නීතිය පසිඳලන ආයතනවලට ඉඩ දෙන එක. ඔවුන්ට පහසුකම් සලසන එක. අපිම කලින් දැම්ම චෝදනා පත්‍ර තියෙනවා, අපිට පරිබාහිර වෙනත් කණ්ඩායම්, තනි පුද්ගලයෝ භාරදීපු චෝදනා තියෙනවා. ඒවා දැන් විමර්ශනය වෙමින් තියෙනවා. ඒ නඩු කටයුතු අහලා ඉවර වෙලා තියෙනවා සමහර ඒවා, සමහර ඒවා අහමින් තියෙනවා. ඉතින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.

අපි පක්ෂයක් විදිහට හෝ අපි ඇමතිවරයෙක් විදිහට, රජයේ නියෝජිතයෙක් විදිහට ගිහිල්ලා අපි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. අපි ඒ අදාළ ආයතනවලට භාරදීලා තියෙනවා. ඒ නිසා මං හිතනවා මේ නඩු කටයුතු ඔවුන් කෙරෙහි, ඔවුන් දිහාවට නඩු කටයුතු ඔවුන්ගේ තිබුණු චෝදනා විමර්ශනය වෙනවා වගේම අපිට හම්බෙච්ච බලය ගත්තාම... අපිට 3න් 2කට වැඩි බලයක් දුන්නානේ, අපිට ජනමතය හෝදලම දුන්නා අපිට, ඉහළම අපිට බලය දුන්නා.

ඇත්තටම දැන් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය කොහෙද? කවුද නායකයා ඉදිරියේදී? කවුද ඉන්න ප්‍රධාන පෙළේ සංවිධායකයෝ? ඔවුන්ට දේශපාලනිකව විශාල තර්ජනයක් තියෙනවා ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන්. ඔවුන්ගේ දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් නිශ්චිත නැහැ."

අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ විඩියෝව පහතින්