පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මේ, එම රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
"දැන් මුළු රටම, මුළු ලෝකෙම ආගමික නායකයින්, මහා නායක ස්වාමීන් වහන්සේලා, වෙනත් ආගමික නායකයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මේ නීතිඥ සංගමය, දේශපාලන පක්ෂ මේ හැමෝම එපා කියද්දි, පුදුම මුරණ්ඩු ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක්, තමන්ගේ යටතට දේශපාලනීකරණය කරන්න අධිකරණය, ඒ වගේම පැලවැත්ත පාලනයකට ගෙනියන්න මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා. ඉතින් අද මුළු ලෝකෙම එපා කියද්දි මේගොල්ලා බලහත්කාරයෙන් මේ කටයුත්ත කිරීම මං හිතන්නේ නම් ප්රජාතන්ත්රවාදයට දරුණු මරු පහරක්."
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද එහිදී අදහස් දැක්වූවා.
"අපිනම් බය නෑ, මොකටද අපි බය වෙන්නේ? (සිනාසෙමින්) ඒ කතා වෙනවානේ ඔබතුමාලා බයෙන් වගේ කතා කරන්නේ... ඇප පිටයි සැක පිටයි ඉන්න කට්ටිය කියලාද? අපි ඇප පිටත් නෑ, සැක පිටත් නෑ, ඒ හින්දා අපිනම් බය වෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව කරන වැඩ අපි කියන්නම් පාර්ලිමේන්තුව ඇතුළේ. අද එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නැව කඩාවැටී ලංකාවට ලැබෙන්න තිබුණු $1 Billion අද නැති කරලා තියෙනවා. ඉතින් මම කියන්නම්, මම පාර්ලිමේන්තුවේ මේ ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මුළු රටටම කොහොමද ඒ $1 Billion නැති වුණේ කියලා. ඉතින් දින 14ක් ඇතුළත අපිට පුළුවන්නේ ගැසට් කළායින් පස්සේ උසාවිවලට යන්න. උසාවි ගිහිල්ලා බලනවා පුළුවන් තරම් අපේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න. අපි කියන්නේ 'මේක ගේන්න එපා' කියන එක පළවෙනියෙන්ම. මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාම සිග්නල් කණු නෙවෙයි. මොකද ඒ අය ජනතා විමුක්ති පෙරමුණේ වගේම ජාතික ජන බලවේගයේ කට්ටියත් ඉන්නවා. ඔවුන් තීරණය කරන්න ඕනේ ඔවුන් මේකට අත උස්සලා අනාගතයේ ගමකට ගිහිල්ලා ඡන්දයක් ඉල්ලන නෙමෙයි... අඩුම තරමේ ලබන පාර එන්නේ නෑනේ ඕකෙන් 3/4ක්වත් එන්නේ නෑ.ඉතින් ඒගොල්ලෝ දැන්වත් තේරුම් ගන්න ඕනේ ඔතනින් 10 දෙනෙක් ඡන්දය දෙන්නේ නැතුව හිටියොත් මේ පනත පරාද වෙනවා. ඉතින් තුනෙන් දෙකේ බලයක් ඕනේ මේකට නිවාරයෙන්. ඊට අමතරව තමයි අපි කියන්නේ ජනමත විචාරණයක් ඕනේ කියලා. අපි ජාතික ජන බලවේගයේ ඉන්න ආදරණීය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා කරුණාකරලා, තමුන්නාන්සේලා මේ හිටපු රජයන් කරන්න ආපුවා නෙමෙයි කරන්න ආවේ මෙතෙන්ට. සිග්නල් කණු නොවී කොන්ද කෙලින් තියාගෙන මේකට විරුද්ධව ඡන්දය දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ."



