රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටු සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා විසින් ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (ආවරණ රාජකාරි) වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත රුපියල් මිලියන 500ක (කෝටි 50ක) වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ රාජකාරි ආවරණය කරන සමයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමයි.

එම අසත්‍ය ප්‍රකාශ හරහා හිතාමතාම තමන්ව අපකීර්තියට පත්කිරීමටත්, අගතියක් සිදුකිරීමටත් අරමුණු කර ඇති බව අදාළ එන්තරවාසිය මගින් පෙන්වා දී තිබෙනවා.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අමාත්‍යවරයාට වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ඒවා සමාජගත කිරීමට ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කටයුතු කර ඇති බව එහි වැඩිදුරටත් චෝදනා කර තිබෙනවා.

මෙම එන්තරවාසියට අදාළව දින 14ක් ඇතුළත නිසි කරුණු ඉදිරිපත් කරන ලෙස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම් දී ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සිය නීතිඥවරයා හරහා නිවේදනය කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.