නඩු කටයුතු ප්‍රමාද වීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සෙවීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කඩිනමින් අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කළත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අවිධිමත්ව අක්‍රමවත්ව ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ සෙසු අනපනත් සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි ව්‍යාකූලත්වයක්, අවිනිශ්චිතතාවක් සහ බරපතළ විරෝධයක් නිර්මාණය වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

''විනිසුරු විශ්‍රම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සදහා එළඹෙන බදාදා සවස 3.00ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට නීතිඥ සංගමයට ලිඛිත ආරාධනයක් යොමු කල බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රධානියා ප්‍රමුඛ ඒ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වැදගත් කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍යම දෙයක් හැටියට. ඒ නිසාම අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කරා එළඹෙන බදාදා දින පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමස්ත මන්ත්‍රීවරුන්ට, 225 ටම මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන වෙනස්කම්, සංශෝධන පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කිරීම වැදගත් කියන කාරණය. ඒ වගේම මේ වන විට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා ගරු කථානායකතුමාගෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා දැනුවත් කිරීමේ ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා එතුමාගේ සහයෝගයත්, ඒ වගේම මන්ත්‍රීවරුන් 225 ටම දැනුම් දීමත් ක්‍රියාත්මක කරලා, මේ සාකච්ඡාව තුළ යම් විධිමත්බවක්, දැනුවත් වීමක් සිද්ධ වීම ඉතාමත් වැදගත් යැයි කියන කාරණය.