ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 08 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පැවසුවා.
ඒ අනුව අදාල ලේකම් දීමනාව තමන් විසින් ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් එම නිලධාරින් කියා සිටියා.
තමාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් මෙම සැකකරු පත්කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඊට අදාළ මුදල් ගෙවන ලෙස ජනාධිපති කාර්යාලයේ මූල්‍ය අංශ ප්‍රධානියාට නියම කර තිබූ බවත් විමර්ශන නිලධාරීන් පැවසුවා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරු තමන්ට වැටුප් නොගෙවන ලෙසට ඔහු විසින් ලිපියක් යොමු කර තිබූ බවට ඔහුගේ නීතිඥවරයා ඉකුත් නඩු දිනයේදී ප්‍රකාශ කර තිබූ බවත් එවැනි ලිපියක් මෙම විමර්ශනවලදී හමු වී තිබේදැයි” විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එවැනි ලිපියක් තමන්ට විමර්ශනවලදී හමු නොවූ බවයි.
ඊට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ මෙම සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලැබූ බව පෙන්වා දුන් විමර්ශන නිලධාරින් එම විශේෂ ව්‍යාපෘති අංශයේ හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් සඳහන් කර සිටියා.
එසේ ප්‍රකාශය ලබාදුන් තුන්දෙනෙකුම එම විශේෂ ව්‍යාපෘති අංශයෙන් කිසිදු වැඩක් සිදු නොවූ බව ප්‍රකාශ කර ඇතැයි සදහන් කළ විමර්ශන නිලධාරීන්, දෙදෙනකු ප්‍රකාශ කර ඇත්තේ එම ව්‍යාපෘති අංශය හරහා සම්පූර්ණයෙන්ම දේශපාලන කටයුතු පමණක් සිදු වූ බවයි.
මෙම විශේෂ ව්‍යාපෘති අංශය හරහා පුද්ගලයින් එකසිය තිස්පස් දෙනෙකු පමණ බඳවාගෙන තිබූ අතර ඉන් බහුතරයක් තාවකාලික පදනම මත බඳවාගෙන තිබූ බවත් එම විශේෂ ව්‍යාපෘතිය අංශයේ බඳවා ගැනීම් , වාහන, ඉන්ධන වැනි කටයුතු සඳහා රුපියල් කෝටි 22 කට වැඩි මුදලක් වැය කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරීන් කියා සිටියා.
ඒ අනුව රුපියල් කෝටි 22කට වැඩි රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කී විමර්ශන නිලධාරීන් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් අධිකරණය හමුවේ කරුණු දන්වා සිටියා.
ඉන් අනතුරුව සැකකාර සුගීශ්වර බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයට අනුව තම සේවා දායකයා වැටුපක් ලබාගෙන නොමැති බව පැහැදිලි වන බව කියා සිටියා.
”මෙම සිද්ධියට අදාල පැමිණිල්ල ලැබෙන්නේ ජුනි මස 12 වනදා. 16 වනදා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා.
18 වනදා පාරේ යද්දී අත්අඩංගුවට ගන්නවා” යනුවෙන් කියා සිටි ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ නිසි පරිදි විමර්ශන කිරීමකින් තොරව බවත් චෝදනා කළා.
ජනාධිපති වැය ශීර්ෂ යටතේ වැටුප් දෙකක් සිය සේවා දායකයා ලබා ගෙන තිබෙන බවට පැමිණිල්ල විසින් චෝදනා කර තිබුණත් මේ වන විට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ඔහු වැටුප් දෙකක් ලබාගෙන තිබෙන බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට විමර්ශකයින් අපොහොසත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් මේ සැකකරු කටයුතු කළත් එම අංශයට සේවකයින් බඳවා ගැනීම, වාහන වෙන් කිරීම යනාදී කටයුතු සිදු කළේ තම සේවාදායකයා නොව ජනාධිපති ලේකම්වරයා බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව සිය සේවා දායකයා මෙම අපරාධ ක්‍රියාවට සම්බන්ධ ඔබට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවීම සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මතම මුදාහරිණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළා.
එතෙක් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.




