පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රදවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ අද යළිත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ සදහා ඔහු අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආවේ දැඩි රැකවල මධ්‍යයේයි.

අධිකරණය හමුවේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කරණු දැක්වුවා.
" ස්වාමීනී.. මේ පරීක්ෂණය තමයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ සිදුකළ විමර්ශනවල හැරවුම් ලක්ෂ්‍ය. පාස්කු ප්‍රහාරයේ හත්වන වර්ෂ පූර්ණය පසුගිය 21වන දින සැමරුවා. හැබැයි පාස්කු ප්‍රහාරයේ අට වන සැමරුම සමරන්න අපි අවස්ථාවක් තියන්නේ නෑ. ඊට වගකිවයුතු සියලු දෙනා අපි මේ වසරේ අඩංගුවට ගන්නවා.
2015 වසරේ නව ජනාධිපතිවරයෙක් බලයට වුණා. මහින්ද රාජපක්ෂ පාලනය පරදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වෙනවා. එම වසරේ ඔක්තෝබර් මස 12 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංගම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලයාන් රිමාන්ඞ් භාරයට පත් වුණා. ඉන්පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙනයාම, උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ වෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අත්අඩංගුවට පත්වන්නේ අද සැකකරු වශයෙන් ඉදිරිපත් කර තිබෙන සුරේෂ් සලේ නමැත්තාගේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින්.
මේ සැකකරු ප්‍රහාරක බලකායක් පවත්වාගෙන ගොස් තිබෙනවා. දේශපාලකින් ආරක්ෂා කිරීම සඳහායි එය පවත්වාගෙන ගොස් තිබෙන්නේ.
2018 වසරේ ඔක්තෝබර් මස දින පනස් දෙකේ ආණ්ඩුවක් බලයට එනවා. 2018 වසරේ දෙසැම්බර් මස 13 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා මේ දින පනස් දෙකේ ආණ්ඩුව නීති විරෝධී බවට. ඉන් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුදු පිළිම වලට පහර දීමේ සිද්ධීන් වෙනවා. ඒ සිද්ධීන් වලට ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධයි කියලා යුද හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. මේ අතරතුර තමයි වවුනතිවූ ප්‍රදේශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය වන්නේ. මේ ඝාතනයට "අජන්තන්" නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. එම ඝාතන වලට සහරන් හෂීම් ගේ කල්ලිය සම්බන්ධ බව වසන් කිරීමටයි එසේ කරන්නේ. පසුව සිදුවූ ඝාතන එල්ටීටීඊ සංවිධානය කළ බවට අඟවන්න උත්සාහ කරනවා.
ඉන්පසුව පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. පාස්කු ප්‍රහාරයේ සිදුවී දින කිහිපයකින් ගෝඨාභය රාජපක්ෂ නමැති පුද්ගලයෙක් ප්‍රකාශ කරනවා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට. සහරාන් සහ ඥානසාර යන පාර්ශව දෙකම නඩත්තු කරල තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශය විසින්."
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා මෙසේද කියා සිටියා.
" ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු වන කලීල් නමැත්තාගේ නිවසකට අත් බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ. මේ පිටුපස සිටින්නේ යුද හමුදාව බුද්ධි අංශයේ කණ්ඩායමක්. පොලිස් විශේෂ කාර්ය බලකාය බාරව කටයුතු කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියත් මේකට සම්බන්ධයි. වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්"

මෙම කරණු දැක්වීම අතරවාරයේ මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් වෙත ප්‍රශ්ණයක් යොමු කළා.
" මේක බරපතළ තත්ත්වයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ප්‍රමාදයක් තිබෙනවා. නමුත් දැනට සිදු කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වෙනවා. නමුත් අධිකරණයට සාක්ෂි ලබාදුන් පුද්ගලයකුට යම් බලපෑමක් සිදුවෙලා තිබෙනවා නම් ඒ ගැන අධිකරණය විමසිලිමත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මුලින්ම විසඳගන්න අවශ්‍යයි. වරුණ ජයසුන්දර නමැති පුද්ගලයා මේ සාක්ෂිකරුට බලපෑම් කළ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා ද?"
ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සෘජු සාක්ෂි නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද ඔහු පැවසුවා.
ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්‍රාත්වරයා මෙසේ කියා සිටියා.
" අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශ්ව තහවුරු කළ කරුණු ඉදිරිපත් කළ යුතුයි. යුක්තිය ඉටු කිරීම සඳහා එය බෙහෙවින් වැදගත්. මොකද ඉදිරිපත් වන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරිපත් කරන චෝදනා අසාර්ථක වෙන්න පුළුවන් . එසේ වුවහොත් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙනවා "
තහවුරු නොකළ කරුණු චෝදනාභිමුඛයෙක් අධිකරණය හමුවේ කියාපෑම නොකළ යුතු බව අවධාරණය කරමිනුයි මහේස්ත්‍රාත්වරයා මෙම කරණූ දැක්වීම කළේ. පසුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් නැවත සිය කරණු දැක්වීම සිදුකළා.

" පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයේ පිරීමක් සිදුවෙනවා. එම සිද්ධියෙන් 16 දෙනෙකු මිය යනවා. ඒත් බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ 17 දෙනෙක් මැරුණා කියලා. පසුව පිපිරිම සිදුවු ස්ථානයේ මේසයක් මත තිබී සාරා ජෙස්මින් නමැත්තියගේ ජාතික හැදුනුම්පත හමුවෙනවා. සාරා ජස්මින් නමැත්තිය මියගොස් නැති බවට ඩී.එන්.ඒ වාර්තාව දෙකක් ඉදිරිපත් වෙනවා. එසේ තිබියදී කෂේරුකාවකට කැබැල්ලක් ඉදිරිපත් කරලා තුන්වන ඩීඑන්ඒ වාර්තාව ලබාගන්නවා. සාරා ජස්මින් මියගිය බවට."
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නැවතත් ප්‍රශ්නයක් මතු කළා
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසාත් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝගය නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර වල ප්‍රගතිය මොකක්ද ?"
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරල්වරයා පැවසුවේ අසාත් මවුලානා නමැත්තා මේ වන විට ප්‍රංශයේ වාසය කරන බවයි. ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලට කැඳවා සූම් තාක්ෂණ ඔස්සේ ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවත් ප්‍රශ්නයක් මතු කරමින් අසාත් මවුලානා නැමැත්තා යුක්තිය උදෙසා අදාල ප්‍රකාශය සිදු කළා නම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැකිලෙන්නේ ඇයිදැයි විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා කියාසිටියේ ජීවිත ආරක්ෂාව තකා ඔහු ප්‍රකාශ ලබාදීමට පැකිලීමක් දක්වන බවයි.

ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිපි පිරිස් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළා.
" ස්වාමීනි මේ ආකාරයේ නඩුවලට යුද හමුදා නිලධාරීන් සැකකරුවන් වශයෙන් ඉදිරිපත් කළාම ඊට අදාල නඩු ගාස්තු ගෙවන්නේ යුද හමුදා අරමුදල්වලින්. ඒ වගේම පරීක්ෂණවලට සහාය ලබා දෙන්නෙත් නෑ. ඒනිසා මා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මේ පරීක්ෂණවලට සහාය ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයාට හා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාට නියෝගයක් නිකුත් කරන ලෙසට".
මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ යුද හමුදාව කියන්නේ රජයේ ආයතනයක් බවයි. ඔවුන් සිට ගත යුත්තේ නීතිපතිවරයා සමඟ බවද ඊට පරිබාහිරව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් කළ නොහැකි බව ද මහේස්‍රාත්වරයා පැවසුවා. එවැනි දෙයක් කරනවා නම් ඒක නීති විරෝධී ක්‍රියාවක් බවයි ඔහු මහේස්‍රාත්වරයා පෙන්වා දුන්නේ. ඒ නිසා අධිකරණය විසින් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ද මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලය තිබෙන බව ද මහේස්‍රාත්වරයා කියා සිටියා.
ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දැක්වුවා
" ස්වාමීනී පැමිණිල්ලෙන් චෝදනාවක් එල්ල කලා මගේ සේවා දායකයා ප්‍රහාරක බලකායක් මෙහෙයවා ඇති බවට. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. අදාල සිදුවීම් සිදුවන කාලයේ ඔහු සිටියේ විදේශ ගතව. ඔහු යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත්වෙන්නේ 2011 වසරේ. අසාද් මවුලාන ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන් අසත්‍යයි. ඔහු විදේශයක දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා මෙවැනි චෝදනා එල්ල කරන්නේ. ඔහු ලංකාවේ අධිකරණය දූෂිතයි කියලත් ප්‍රකාශ කරලා තිබෙනවා.
එනිසා මා ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණය කොන්ත්‍රාත් පදනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් බැහැර පොලිසියේ වෙන ඕනෑම විමර්ශන අංශයක් වෙත යොමු කරන ලෙසට."
සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය විසිහත් වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්තුමාට ප්‍රකාශයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද නීතිඥවරයා මෙහිදී කියා සිටියා.
මේ බව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් කරන ඉල්ලීම යළි සිතා බලා ඊළඟ දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. විමර්ශනය වෙනත් විමර්ශන අංශයක් වෙත මාරු කරන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් මීට පෙර නියෝගයක් ලබාදී තිබෙන බවද මහේස්ත්‍රාත්වරයා පැවසුවා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ ලිඛිත කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් නියෝගයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ.
පැමිණිල්ල යළි මැයි මස 20 වනදා කැඳවීමට ද මෙහිදි නියම කෙරුණා. එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ද කෙරුණා. සැකකරු සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමටද අවසර ලබාදෙන බවයි මහේස්‍රාත්වරයා පැවසුවේ.