දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා මෙම නියෝගය නිකුත් කළේ අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.

අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එම නඩු අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නිවේදනය කළේ එම නඩුවල තීන්දු සූදානම් කර නොමැති බවයි.

ඒ අනුව තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.