දිවයින හරහා නිරිත දිග මෝසම තවදුරටත් දිවයිනේ නිරිත දිග කොටසට අද දිනයේද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

''දිවයින හරහා නිරිතදිග මෝසම තවමත් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා අද දිනයේදීත් දිවයින හරහා විටින් විට හමන තරමක තද සුළං සමග දිවයිනේ නිරිතදිග කොටසේ විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ වගේ පළාත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි අද දිනයේදීත් අපේක්ෂා කරන්න පුළුවන්. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා සබරගමුව පළාත සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව අද දිනයේදීත් පවතිනවා. ඒ සමගම දිවයින හරහා විටින් විට හමන තද සුළං තියෙනවා. විශේෂයෙන් උතුරු, උතුරු-මැද පළාත, ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ ආශ්‍රිතව සහ දකුණු පළාතේ විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනයේදීත් පවතිනවා. ඊට අමතරව ගත්තොත් සවස් කාලයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ ඌව පළාතේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ සමගම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දිවයින හරහා මුහුදු ප්‍රදේශවලත් තද සුළං පවතිනවා. මේ නිසා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. විශේෂයෙන් ගත්තොත් තලාවිල සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින නිසා ඒ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් තවදුරටත් වළකින්න කියන එක අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.''

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවා.

''ඒ සමගම පවතින තත්ත්වය ගත්තොත් මේ සක්‍රීය නිරිතදිග මෝසම් සහිත කාලගුණ තත්ත්වය අපි ඉදිරි දින කිහිපයේ තවදුරටත් අපේක්ෂා කරනවා.ඒ සමගම හෙට සිට, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන් අගෝස්තු මාසයේ 6, 7, 8 සහ 9 යන දිනවල දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල දවස පුරාම වගේ ඉදිරි දින කිහිපයේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් වැඩි බලපෑමක් පවතිනවා සබරගමුව පළාත සහ ඒ වගේම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා ඒ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක දැනුම් දෙන්න කැමතියි.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසුවා. කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව ද අද උදෑසන විවෘත කෙරුණා. ඒ අනුව තත්පරයට ඝන මීටර 130ක පමණ සීග්‍රතාවයකින් අතිරික්ත ජලය කොත්මලා ඔයට මුදා හැරෙන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා.

''මහවැලි ගඟේ ඉහළ ධ්‍රෝණියට ලැබෙන වර්ෂාපතනයත්, ඒ වගේම කොත්මලා ඔයේ ඉහළ කොත්මලේ ජලාශයට ඉහළ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනයත් හේතුවෙන් අද උදෑසන 7ට කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරලා ජලය නිදහස් කිරීමක් කරනු ලැබුවා, උදෑසන 7ට පමණ. එහිදී තත්පරයට ඝන මීටර් 160ක විතර ආසන්න ප්‍රමාණයක් කොත්මලා ඔයට නිදහස් කරනවා. මේ අනුව එය මහවැලි ගඟට එකතු වීමත් සමග, විශේෂයෙන්ම පේරාදෙණිය සහ නාවලපිටිය අතර කලාපයේ ඇතැම් ස්ථානවල ජල මට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් නිදහස් කරන ප්‍රමාණය ප්‍රමාණාත්මකව ගත්තොත් පවතින ජල මට්ටම් සමග සංසන්දනය කරලා බැලුවොත් එහෙම, විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් හැකියාවක් නැහැ. කෙසේ නමුත් ගඟේ ජල ගැලීමේ වේගය සහ ප්‍රමාණාත්මකව උස වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා ගඟ පරිහරණය කරන අය, විශේෂයෙන්ම මහවැලි ගඟේ පහළ පේරාදෙණිය සහ ඒ අසල නගර ආසන්නයේත්, ඒ වගේම ගඟ ආසන්නයේ ඉන්න පහත් බිම්වල අයත් මේ පිළිබඳව අතිශය සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමත්, ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමත් සිදු කරනවා. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ධ්‍රෝණියේත් ලැබෙන වර්ෂාපතනය සමග සාමාන්‍ය වැඩිවීමක් දක්නට තිබුණත්, එය සැලකිය යුතු වැඩිවීමක් නෙවෙයි. ඒ නිසා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් අපිට පෙනෙන්නට නැහැ. ඒ වගේම අනෙකුත් ගංගා ධ්‍රෝණි ගත්තහොත්, විශේෂයෙන්ම ගිං ගඟ, නිල්වලා ගඟ සහ කළු ගඟ ගංගා ධ්‍රෝණිවලත් සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙනවා. නමුත් එය ගංවතුරක් දක්වා වර්ධනය වීමට ප්‍රමාණවත් නැහැ. ඒ වගේම අත්තනගලු ඔය සහ මහ ඔය ඇතුළු ඒ ප්‍රදේශවලත් සාමාන්‍ය වර්ෂාපතනයක් පවතිනවා. ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ.''