පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැඳවනු ලැබුවා.
එහිදී නියෝග කෙරුණේ එම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ මාර්තු මස 5වනදා නැවත කැඳවන ලෙසයි.
මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනාධිකරන පෙත්සම කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මියද අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.
එලෙස කෙරුණු ඉල්ලීම්ද සලකා බලමිනුයි අභියාචන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ මාර්තු මස 5වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.
මෙම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින්නේ පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක්.
පෙත්සම්කාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරූදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පළමුව රිට් පෙත්සමක් ගොනු කළ බවයි.
එහෙත් පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින්ද තොරව අභියාචනාධිකරණය විසින් පෙත්සම ප්‍රතික්ෂේප කළ බවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවටයි ගෝඨාභය රාජපක්ෂ මහතා තර්ක කරන්නේ.
ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ඉවත්කර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචන පෙත්සම මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.




