කැළණි, මහවැලි ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මට්ටම් තවදුරටත් පහළ බසමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කැළණි සහ මහවැලි ගංගා ආශ්‍රිතව පැවති ගංවතුර අවදානම මේ වනවිට පහව ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
කැලණි ගඟ සහ මහවැලි ගඟ විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් ඇති වුණා ඊයේ දිනයේ. මේ වන විට බොහෝ දුරට මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ, නාවලපිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් පහළ බසිමින් තියෙන්නේ. ඊට අමතරව පසුගිය පැය 24 තුළ වර්ෂාපතනයෙත් සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා තවදුරටත් ජල මට්ටම් වැඩිවීමේ අවදානම මේ දක්වා පවතින කාලගුණික තත්ත්වයන් යටතේ නැහැ. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණියේත්, විශේෂයෙන්ම කිතුල්ගල සහ නෝවුඩ් මැනුම් මධ්‍යස්ථානවල ජල මට්ටම් පහළ බසිමින් තියෙනවා සහ එම ප්‍රදේශවලටත් ලැබෙන වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් දක්නට තියෙනවා. පසුගිය පැය 12 ඇතුළත ඉතාම සුළු වර්ෂාපතනයන් තමයි ලැබිලා තියෙන්නේ. මේ වන විටත් ඉහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවල සුළු වර්ෂාපතනයක් පැවතියත්, ජල මට්ටම් පහළ බසිමින් තියෙනවා. ඒ වගේම කැලණි ගඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම්, විශේෂයෙන්ම හන්වැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ග්ලෙන්කෝස් මැනුම් මධ්‍යස්ථානවල ජල මට්ටමත් අඩුවෙමින් පවතින්නේ. නාගලගම් වීදියේ ජල මට්ටම ඉතා සුළු වැඩිවීමක් පෙන්නුම් කරත්, අනතුරුදායක වැඩිවීමක් වෙන්නේ නැහැ. මේ මේ තත්ත්වය යටතේ කැලණි ගඟේ පහළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ දක්වා නැහැ. එම නිසා මහවැලි ගඟ සහ කැලණි ගඟේ තවදුරටත් ගංවතුර ඇතිවීමේ අවදානම අවම මට්ටමක තියෙන්නේ. ඒ වගේම කළු ගඟේ රත්නපුර ජල මට්ටමත් ක්‍රමයෙන් පහළ බසිමින් තියෙනවා. ඊට පහළ පිහිටි මිල්ලකන්ද ජල මට්ටම ඉතා සුළු වැඩිවීමක් පැවතියත්, එය ගංවතුර තත්ත්වයක් දක්වා ඉතා ලොකු වැඩිවීමක් වෙන්නේ නැහැ. ඇල්ලගාව සහ පුටුපවුල ජල මට්ටම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. මේ නිසා කළු ගඟේ තවදුරටත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම මේ දක්වා පවතින තත්ත්වයන් යටතේ නැහැ. ඒ වගේම ගිං ගඟ, නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය, මහා ඔය වැනි ප්‍රධාන ගංගා ද්‍රෝණිවල ඊයේ ලැබුණු වර්ෂාපතනය නිසා යම් සාමාන්‍ය වැඩිවීමක් ඇතිවුණත්, ගංවතුර තත්ත්වයක් දක්වා මේ පවතින තත්ත්වයන් යටතේ වැඩිවීම් සිදුවන්නේ නැහැ. කළු ගඟ, කැලණි ගඟ සහ මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණි ප්‍රදේශවලට අද දිනෙත් ඇතැම් විට වර්ෂාපතනය ලැබීමේ පූර්ව කථනයක් තියෙනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් සියලු දෙනා අවධානයෙන් ඉන්න කියන ඉල්ලීමත් කරනවා.
කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවා.
''පසුගිය දිනවල දිවයිනේ තිබුණු වැසි තත්ත්වයේ අපි සුළු අඩුවීමක් අපේක්ෂා කරනවා අදත් සහ හෙට දිනයේ. ඊයේ සහ පෙරේදා වගේ ගත්තාම විශේෂයෙන් මධ්‍යම පළාතේ, සබරගමුව පළාතේ තද වැසි ඇතිවුණා. අපි අද දිනයේ බලාපොරොත්තු වෙනවා මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් ඒ වගේම සබරගමුව පළාතෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක් දක්වා වගේ තරමක තද වැසි අද දිනයේ අපි අපේක්ෂා කරනවා. උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇතිවෙන්න ඉඩකඩක් තියෙනවා. හවස දෙකෙන් වගේ පස්සේ නැගෙනහිර පළාතෙත්, ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවේවි, සුළු වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ උතුරු මැද, ඒ වගේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, වයඹ පළාතෙත්, දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක 50 ක වගේ තරමක තද සුළං අද දිනයේත් අපි අපේක්ෂා කරනවා. සවස් කාලය ගත්තාම විශේෂයෙන් අපි වැසි බලාපොරොත්තු වෙන්නේ නැගෙනහිර පළාතේ සහ ත්‍රිකුණාමලය...''
දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කළා.
''පුත්තලම ඉඳලා කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. දිවයින වටා මුහුදේ සාමාන්‍යයෙන් සුළඟ හමන්නේ නිරිත දිශාවෙන්, වේගය පැයට කිලෝමීටර් 30 ක් 40 ක් අතර වගේ වේවි. නමුත් ගාල්ල ඉඳලා මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60, 70 දක්වා ඊට වඩා වැඩි වෙන්නත් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම එම මුහුදු රළු හෝ ඉතා රළු වෙන්න පුළුවන්. එබැවින් අපි කියනවා ගාල්ල ඉඳලා මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන්න එපා අපි නැවත දැනුම් දෙනතුරු.
මේ අතර ලබන 6 වනදා සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් යළි අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ.
''දැන් අද සහ හෙට අපි තරමක් අඩු වුණත්, අපිට පේනවා මේ වෙනකොට පැසිෆික් මුහුදේ ජපානයට පහළින් සුළි කුණාටුවක්, ඒ ටයිෆූන් (Typhoon) එකක් වර්ධනය වෙමින් තියෙනවා. ඒකෙ බලපෑමත් යම්තාක් දුරට අපට තියෙනවා. ඒ නිසා 6, 7, 8, 9 වගේ දවස්වල අපි නැවත වරක් මධ්‍යම පළාතේ නුවර- මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ඒ වගේම සබරගමුව පළාතට, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට නැවත වැසි තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒ ගැන අපි ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදන නිකුත් කරනවා. 9 න් දැන් පස්සේ ආයෙත් වැසි අඩුවෙලා යාවි.''
කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමේ වැසි තත්ත්වය අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඔහු පැවසුවා.
''ඇත්තටම අපි විභාග කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ක ඒ සඳහා සූදානම් වෙන වැඩසටහනක් තියෙනවා. ඒකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාගතයේ අනාවැකි පළ කරන්න තියෙනවා. එතකොට අපේ- අපිත් ඒ සාකච්ඡාවලට ඒ වගේම එම සූදානම් වීම්වලට සහභාගී වෙනවා. හෙට දිනය සඳහා මේ සියලුම පාර්ශවකරුවන් එකතු කරලා සාකච්ඡාවකුත් තියෙනවා. විභාගයට සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අප හා එක්ව සැලසුම් කරලා ඒ සඳහා සූදානම් වෙමින් පවතිනවා. කොහොම වෙතත් 10 වෙනිදයින් පස්සේ වැස්ස අඩුවේවි. ඒ හින්දා විභාගයට අපි හිතනවා කරදරයක් නොවෙවි.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලටයි. ඒ අනුව ආරක්ෂිත ස්ථාන නවයක් පුරා පුද්ගලයින් 1,881 දෙනෙක් තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
"...විශේෂයෙන්ම මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන නවයක් පුරා පුද්ගලයින් 1,881 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය, කෑගල්ල දිස්ත්‍රික්කවල තමයි මෙම ආරක්ෂිත ස්ථාන පවතින්නේ. මේ සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. අර්ධ නිවාස හානි 129 ක් පැවතුණු ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වෙනවා. පුද්ගල මරණ පහක් වාර්තා වෙනවා, විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ හතරක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණයක්. විශේෂයෙන්ම පස්කඳු කඩා වැටීම් තමයි විශේෂයෙන්ම හේතු වෙලා තියෙන්නේ මේ තත්ත්වය සමගම. තුවාල ලැබූ සංඛ්‍යාව තුන්දෙනෙකු සහ අතුරුදහන් සංඛ්‍යාව දෙදෙනෙකු ලෙස වාර්තා වෙලා පවතිනවා."




