ගම්පහ, හොරගොල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකාර යුද හමුදා සෙබළා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 380 ක ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ 05 වන සංඥා බලකායට අනුයුක්තව සේවය කළ යුද හමුදා සෙබළෙක්.

කෙසේ වෙතත් ඔහු මේ වන විට කිසිදු අනුමැතියකින් තොරව නිත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවයට වාර්තා නොකර නිවාඩු ලබා සිටින අයෙකු බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා වැඩිදුර විමර්ශන සදහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.