මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ තමන් මීට පෙර ක්‍රීඩා කළ තරගවලදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ පැතුම් නිස්සංක ඊයේ පැවති තරගයේදී දක්‍ෂ පිතිහරඹයක නිරත වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී පන්දු 33 කදී ලකුණු 62ක් රැස් කර ගනිමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණා.

පැතුම් අයි පී එල් ක්‍රිකට් පිටියේ වාර්තා කළ පළමු අර්ධ ශතකයද මෙය වනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 225ක්.

නායක රියාන් පරාග් පන්දු 50කදි ලකුණු 90 ක් රැස් කළා.

මිචෙල් ස්ට්‍රාක් ප්‍රතිවාදී කඩුළු 3 ක් බිද හෙළුවා.

ජයග්‍රාහී ලකුණු 226 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවක් තුළදි කඩුළු 3 ක් පමණක් දැවි තරගය ජයගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 62 කට දැවී යද්දි කේ එල් රාහුල් ලකුණු 75 ක් රැස් කළා.

පන්දු 40 කට මුහුණ දුන් රාහුල්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

නිටිෂ් රානා ලකුණු 33 ක් රැස් කළේ පන්දු 17 කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහර තුනකින් වර්ණවත් වුණා. තරගයේ වීරයා සම්මානය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කේ එල් රාහුල් දිනාගත්තා.