අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදු වන බැවින්, එය වැළැක්වීම සඳහා ගත හැකි සියලු නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එම කටයුතු සොයා බැලීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ පරිසර අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමින්.
පරිසර අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 19,719ක අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 සැලසුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා.
ඔලුවිල් වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග විමසා බැලීමට ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කර, වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2026 අය වැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයා විශේෂයෙන් විමසා බැලූ අතර, මන්දගාමීව සිදු කෙරෙන එම ව්‍යාපෘති මිනිස් ජීවිතවලට තර්ජනයක් බවත්, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබියදී ව්‍යාපෘති ප්‍රමාදවීම අනුමත කළ නොහැකි බවත්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එබැවින් ග්‍රාමීය ජන ජිවිතය පිළිබඳ සංවේදී වෙමින් මෙම ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම වසරේ ලබා දී ඇති ප්‍රතිපාදන මෙම වසර තුළම වැය කරමින් අදාළ ඉදිකිරීම් සිදු කරන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.




