ඉබෝලා වෛරස ව්‍යාප්තියට මුහුණ දීම සදහා මෙරට සෞඛ්‍ය අංශවල පෙර සූදානම පිළිබඳ විශේෂ සොයා බැලීමක් සිදු කර තිබෙනවා.
ඒ, ඉබෝලා වෛරස ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි.
උද්ගතව ඇති තත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්, ඊට අනුකූලව මෙරට සෞඛ්‍ය අංශ මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රාශියක් පිළිබඳව මෙහි දී කරුණු ගැඹුරින් සලකා බලා තිබෙනවා.
පවතින තත්වය පිළිබඳ මෙරට වැසියන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
තවමත් මෙම වෛරසය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සීමිත ප්‍රදේශයක පමණක් පැතිර පවතින බවත් එමෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ වුව ද, දැනටමත් මෙරට සෞඛ්‍ය අංශ පූර්ව සූදානමක ඇති බවත් මෙහි දී අනාවරණය වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ විසින් වරින් වර ලෝකයේ අවධානයට ලක් කරන භයානකම බෝවන රෝගයක් ලෙස ඉබෝලා වෛරස් රෝගය හැඳින්විය හැකියි.
මෙය මිනිසුන්ට මෙන්ම වානරයින් වන ගෝරිල්ලන්, චිම්පන්සීන් වැනි සතුන්ට ද වැළඳෙන, මරණ අනුපාතය ඉතා ඉහළ එනම් දළ වශයෙන් 50% ක පමණ දරුණු රෝගයක් බව සදහන්.




