එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය මුල් කරගනිමින් මෙරටට ගෙවීමට නියම වූ වන්දි මුදලින් වැඩි කොටසක් පීඩාවට පත්වූ ධීවරයන්ට ලබා දිය යුතු බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

එමෙන්ම විනාශ වූ පරිසරය යළි පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහාද අදාළ වන්දි මුදලෙන් කොටසක් වැය කළ යුතු බවයි පියතුමන් පැවසුවේ.

නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට පසුගියදා නියම කළා.

ඒ, මෙරට පරිසර පද්ධතියට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් සහනයක් ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය, ධීවර ප්‍රජාව ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එලෙස පෙත්සමක් ගොනු කිරීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් අදහස් පළ කළා.

කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වූයේ 2021 වසරේදීයි.