එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව එක් ලක්ෂ 61,451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344ක් අයත් පිරිසක් එලෙස පීඩාවට පත්ව සිටිනවා.
ඒ අතරින් පවුල් 43,221කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 41,312 දෙනෙකු පානීය ජල ගැටළුවට මුහුණ පා සිටිනවා.
ඒ අනුව ඔවුන්ට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සත්සරණී රාජගුරු මහත්මිය පැවසුවේ.
"අද දින වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ඊට අමතරව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. තවදුරටත් උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ."




