කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක ඉකුත්දා වෙඩි තබා කෙරුණු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සඳහා යොදාගත් බව කියන ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක්ද විමර්ශනවලදී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම අපරාධය සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවිය අපරාධ ස්ථානයට රැගෙන යාමට සහ අපරාධයෙන් පසු ප්‍රවාහනය කිරීමට මෙම ත්‍රී රෝද රථය සහ යතුරුපැදිය යොදාගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන අපරාධය සිදු කර ඇතැයි ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබා දුන් අය බවයි වැඩිදුරටත් අනාවරණ වී තිබෙන්නේ.

වෙඩි තැබීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය මාර්ගය පිළිබඳ මුල් අවස්ථාවේම තොරතුරු ලැබී තිබුණා.

එම මාර්ගයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවල දර්ශන විමර්ශකයන් විසින් සියුම් ලෙස අධ්‍යයනය කර ඇති අතර අපරාධයට යොදාගත් බවට දැන් සොයාගෙන තිබෙන ත්‍රී රෝද රථය හඳුනාගෙන ඇත්තේ එලෙස කළ අධ්‍යයනයේදීයි.

පසුව ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ කළ විමර්ශනයේදී එම ත්‍රිරෝද රථය පානදුර උතුර ප්‍රදේශයෙන් සොරකම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා.

විමර්ශකයන් විසින් ත්‍රී රෝද රථය සොයාගෙන ඇත්තේ කළුතර කෙත්හේන ප්‍රදේශයේ ධාවනය කෙරෙමින් තිබියදීයි.

ත්‍රීරෝද රථය පැදවූ රියදුරාද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ වෙඩි තැබීමෙන් පසු ගිනි අවිය රැගෙන යාමේදී ත්‍රීරෝද රථය පදවා ඇත්තේ ද ඔහු විසින් බවටයි.

මෙහිදී හෙළිවූ කරුණු අනුව ගිනි අවිය ප්‍රවාහනය සඳහා යොදා ගැනුණු යතුරුපැදිය හඳුනාගෙන තිබෙනවා.

පසුව එම යතුරුපැදිය කළුතර නගරයේදී සොයාගෙන ඇති අතර එහි ගමන් කරමින් සිටි දෙදෙනාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් දෙදෙනාද ගිනි අවිය ප්‍රවාහනය කිරීමට සහභාගි වූවන් බව අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අවුරුදු 23, 24 සහ 28 යන වයස්වල පසු වන අයයි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද අනෙක් පුද්ගලයා අගලවත්ව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තුන්දෙනාටම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පෙර චෝදනා ද තිබෙන බවයි වාර්තා වුනේ.

ඔවුන් කළුතර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධකල්ලියක සාමාජිකයන් බවට ද තොරතුරු තිබෙනවා.

ප්‍රශ්නගත වෙඩි තැබීමේදී ඝාතනය කෙරුණේ අඹුසැමි යුවළක්. විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා.