කැළණි, කළු සහ මහඔයේ ජලමට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පහත්බිම්වල ජනතාව ඒ පිළිබද අවධානයෙන් පසු විය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමණාකර, ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
අත්තනගලුඔය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනය මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ද ඇති විය හැකියි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද දිනයේ වලාකුණින් බරව පවතී.
මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
එම පද්ධතිය, ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.




