කුලියාපිටිය - නාරම්මල මාර්ගයේ බෝහිංගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කුලියාපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියැදුරාට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී එම් අනතුර සිදුව ඇති බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ මෝටර් රථ රියැදුරා, එහි ගමන් ගත් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම රියැදුරා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ පානගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මහියංගනය - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයේ සිදුවූ තවත් රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ එම රෝද රථය රියැදුරාට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා හා පසුපස අසුනේ ගමන් ගත් ඔහුගේ බිරිඳ මහියංගනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65 ක් වු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.