තුන්වේල සදහා නිවසේ ආහාර දෛනිකව ලබාගැනීමට තමන්ට අවසර ලබාදෙන්නැයි ඉල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලිමක් කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීමට අවසර ලබාදුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ඕනෑම රැදවියෙකුට පිටතින් රැගෙන එන ආහාර ලබාගැනීමට අවසර හිමි වනවා.

ඒ අනුව ලිඛිතව ඉල්ලීමක් සිදුකරන රැදවියන්ට බන්ධනාගාර නීතිය යටතේ එම අවසර ලබාදෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මේ අතර නාමල් රාජපක්‍ෂ මහතාගේ සුවදුක් විමසීම සදහා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද නාමල් රාජපක්‍ෂ මහතාගේ සුවදුක් විමසීම සදහා එම බන්ධනාගාරය වෙත පැමිණි බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවත් රැදවියන් 10 දෙනෙකු සමග එක් වාට්ටුවක රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඒ, මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ දී ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක් අල්ලස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එල්ල වන චෝදනා යටතේයි.