ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.

මෙම හමුවේ දී සාකච්ඡාවූ කරුණු තවමත් නිල වශයෙන් අනාවරණ කර නැතත් විශ්වාසදායක ආරංචි පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි කියවෙන්නේ.

මෙලෙස ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් නීති වලට පටහැනි බව ජේ ෂා මහතාගේ අදහස වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති හමුවෙන් පසු ජේ ෂා මහතා එක්ස් සටහනක් තබා තිබෙනවා.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බවයි ඔහු එමඟින් පවසා ඇත්තේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සුවිශේෂ ස්ථානයක් හිමිවන බවද ජාත්‍යන්තර තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමේදී සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වය අගය කරන බවද ජේ ෂා මහතා තබන ලද එක්ස් සටහනෙහි දැක්වෙනවා.

නැගී එන ක්‍රීඩකයන් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමටත්, බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධනය සඳහා තවදුරටත් ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

අනාගත පරපුර වෙනුවෙන් ක්‍රීඩාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ සියලුම පාර්ෂවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ජේ ෂා මහතා සිය එක් පණිවිඩයෙන් අවධාරණය කර තිබෙනවා.

මේ අතර, නෙත් නිව්ස් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග හමුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජේ ෂා මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාද හමුවී ඇති බවයි.

අහමුදාබාද් හිදී මෙම හමුව සිදුව ඇතැයිද කෙසේ වෙතත් එහිදී සාකච්ඡා වී ඇත්තේ ක්‍රිකට් වලට අදාළ කරුණු නොවන බවද වාර්තා වනවා.

හමුව සැලසුම් කල ඒකක් නොවන බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.