ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන 'Project Freedom' නම් නව එක්සත් ජනපද හමුදා මෙහෙයුම අත්හිටුවන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.
ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවල ප්‍රගතියත් පාකිස්ථානය ඇතුළු අනෙකුත් රටවල ඉල්ලීම මතත් නව තීරණයට එළඹීමට හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති එක්සත් ජනපද නාවික අවහිරය තවදුරටත් බලාත්මකව පවතිනු ඇති බවද පැවසෙනවා.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග මැදපෙරදිග කලාපයෙන් යළිත් බාධාවකින් තොරව තෙල් සැපයුම ආරම්භ වනු ඇතැයි ද අපේක්‍ෂා කෙරෙනවා.
එවන් පසුබිමක් තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.52 කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව එම බොරතෙල් බැරලයක මිල අද පෙරවරුවේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 108.35 ක් ලෙසයි.
අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල බැරලයකට ඩොලර් 1.50 කින් පහත වැටී තිබෙනවා.
එහි නව මිල අමෙරිකානු ඩොලර් 100.77ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.97ක් ලෙසත් සටහන් වනවා.




