කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි අත්වැසුම් නිෂ්පාදන සමාගමකට අයත් නිෂ්පාදන සහ වෙළඳ රහස් මූල්‍යමය වාසි උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කිරීමෙන් බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කළ නිලධාරියෙකුට රුපියල් මිලියන 50 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
කටුනායක ඒ.ටී.ජී සිලෝන් පුද්ගලික සමාගම ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සමාගමේ හිටපු කාර්මික පාලකයෙකු වූ ඒ.එම්.ඒ. අත්තනායක නැමැත්තාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සම්පත් විජේරත්න සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
අදාළ සේවකයා සමාගමේ සේවය කරමින් සිටියදී එහි තාක්ෂණික සහ වෙළඳ රහස් මූල්‍යමය වාසි උදෙසා කොරියානු සමාගමකට ලබාදී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, මීට පෙර කොළඹ වාණිජ මහාධිකරණය ලබාදී තිබූ තීන්දුව ඉවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ සමාගමට සිදුවූ පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 50 ක මුදලක් සහ නඩු ගාස්තු ගෙවන ලෙසටයි වගඋත්තරකරුට නියෝග කළේ.
එමෙන්ම අදාළ නිෂ්පාදන තාක්ෂණය සහ රහස් තොරතුරු වෙනත් සමාගම් වෙත පැවරීම හෝ සුරාකෑම වළක්වමින් වගඋත්තරකරු වෙත තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කරනු ලැබුවා.



