ඉන්දියාවෙන් ආනයනය කළ වියළි මිරිස් අඩංගු කන්ටේනර් 60ක් පමණ නිදහස් නොකර රඳවාගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ මිරිස් තොගය සම්බන්ධයෙන් ප්‍රමිතිය පිළිබඳ නියෝග මෙතෙක් නොලැබීම නිසා එම කන්ටේනර් නිදහස්කර නොමැති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ද්‍රව්‍ය වරායෙන් මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන කිහිපයක නිර්දේශ අවශ්‍ය වනවා.

එහෙත් අදාළ ආනයනික මිරිස් අඩංගු කන්ටේනර් 60 සඳහා එම ප්‍රමිති සහතික ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

රේගුවේ රඳවාගෙන ඇති මෙම කන්ටේනර්වල ඇති මිරිස් තොගයේ මුළු බර කිලෝග්‍රෑම් ලක්ෂ 09ක් පමණ වනවා.

එහි වටිනාකම රුපියල් කෝටි 100 ආසන්නයි.

මෙම වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,300කට පමණ මුදලකට අළෙවි කල යුතු අතර, මේවා මුදා හැරීම තව දුරටත් ප්‍රමාද වන්නේනම් එහි මිළ තවත් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

එම නිසා වෙළඳපොළ තුළ මිරිස් හිඟයක්ද ඇතිවිය හැකියි.

එය එළඹෙන උත්සව සමයේදී තවදුරටත් උග්‍රවනු ඇති බවයි තොග වෙළඳුන් පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ ආනයනික මිරිස් තොගය නිසි ප්‍රමිතියට නොමැති නිසා ඒ සඳහා ප්‍රමිති සහතික නිකුත් කළ නොහැකි බවයි ආහාර පරීක්ෂකවරුන් පෙන්වා දී ඇත්තේ.

අදාළ මිරිස් තොගය නැවත ඉන්දියාවට යැවීමට උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වනවා.

මේ අතර නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාවට වියළි රතු මිරිස් අපනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ එම තීරණය සංගමයේ සාමාජිකයන්ට, මිරිස් අපනයනකරුවන්ට සහ අනෙක් පාර්ශ්වයන්ට දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

පවතින ගිවිසුම්ගත බැඳීම්වලට යටත්ව, මෙම අත්හිටුවීමේ කාලය තුළ ශ්‍රී ලංකාව සමග නව අපනයන ගිවිසුම්වලට එළැඹීමෙන් වැළකී සිටින ලෙසද සාමාජිකයන්ට ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය දැනුම්දී තිබෙනවා.

එම සංගමය විසින් සිය සාමාජිකයන්ට නිකුත් කරන ලද නිවේදනයක සඳහන්කර ඇත්තේ ඉන්දීය වියළි රතු මිරිස් වෙළෙඳාමට බලපාන වත්මන් ගැටලු විසඳීමේ අරමුණින් සහ මිරිස් කර්මාන්තයේ නියුතු අපනයනකරුවන්ගේ, වෙළෙඳුන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.