ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකාවේ තැපැල් සේවයට සිදු කරන ලද අමෙරිකානු ඩොලර් හය ලක්ෂ විසි හයදාස් පන්සිය පනස් පහක මුදල් ගෙවීමක් තෙවන පාර්ශවයක් වෙත බැර වීම පිළිබඳ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම සිද්ධියට අදාළව කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම දැනුම්දීම සිදුකළා.

ගෝලීය වශයෙන් තැපැල් ගණුදෙනු සිදු කිරීමේදී විශ්ව තැපැල් සංගමය මඟින් ඒ සඳහා අදාළ ඊමේල් ගිණුම් ලබා දෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

එසේ තිබියදී ඊට පරිබාහිර ලෙස ඊමේල් ගිණුමක් හරහා මෙම මුදල් ගෙවීම සිදුව තිබෙන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී මෙම මුදල් ගෙවීම් කටයුතු සිදු කර ඇති බවත් දන්වා සිටියා.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුවන බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ”සර්ට්” ආයතනයට අවසර ලබාදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීම් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබා දුන් අතර විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.