හොරුන් සහ දූෂිතයන් අල්ලා දඬුවම් දීමේ ක්‍රියාවලිය සීමාවකින් තොරව සම්පූර්ණයෙන්ම ස්වාධීනව සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නොච්චියාගම පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මීට පෙර පැවැති ආණ්ඩු මෙන් තෝරාගත් දූෂිතයන්ට පමණක් නොව, කිසිදු තරාතිරමක් නොබලා සියලු දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනවලට පූර්ණ බලය ලබාදී ඇති බවයි.

"මම ජනාධිපතිවරයා ලෙස ඉන්නේ ඇස් දෙක බැඳගෙන. ඇස් දෙක බැඳගෙන ඉන්නේ. හරිද? කොයි හොරාද මට පේන්නේ නැහැ, මට අදාළ නැහැ. කොයි දූෂිතයාද, මට අදාළ නැහැ. එයා ලොක්කාද, ලොක්කාගේ පුතෙක්ද, ලොක්කාගේ බිරිඳද, ලොක්කාගේ නැන්දද... වැඩක් තියෙනවාද අපිට? වැඩක් නැහැ අපි ඇස් බැඳගෙන බලය දීලා තියෙනවා! ඒ ආයතනවලට බලය දීලා තියෙනවා! අද ඒ ආයතන ස්වාධීන කරලා, පහසුකම් දීලා, බලය දීලා තියෙනවා. අපි... අපි ඇස් දෙක වහගෙන දූෂිතයන්ට දඬුවම් දීම සඳහා අවශ්‍ය වෙන ආරක්ෂාව දීලා තියෙනවා. ඉස්සර අපේ රටේ තිබ්බේ දූෂිතයෝ තෝරනවා. තෝරාගත්ත දූෂිතයෝ, තෝරාගත්ත අපරාධකාරයෝ! අද තේරීමකින් තොරව හැම දූෂිතයෙකුටම, අපරාධකාරයෙකුටම දඬුවම් දීමට අවශ්‍ය කරන සමාජය හදලා දීලා තියෙනවා. මීට මාස 7කට 8කට කලින් කිව්වා "කෝ අල්ලන්නේ නැහැනේ" කිව්වා. තියෙනවා නේද? "කෝ කැැබ් එකේ ෆයිල්" කියලා ඇහුවා. "කෝ ඔයල ගාව තිබ්බ ෆයිල්" කියලා ඇහුවා. දැන් අහන්නේ මොකක්ද? මම දැක්කා එක හිටපු ඇමති කෙනෙක් කියනවා "හොරු අල්ලන එකේ සීමාවක් තියෙන්න ඕනේ" ලු! හොරු අල්ලන්න සීමාවක් තියෙනවාද? සීමාවක් තියෙනවාද? නැහැ! සීමාරහිතයි හොරු අල්ලන එක! මේක අල්ලන එකෙත් දැන් සීමාවක් තියෙන්න ඕනේ... නැහැ! ඔක්කොම සැලසුම් ටික දැන් හදලා, දැන් තමයි පරීක්ෂණ කරලා තියෙනවා, තොරතුරු එකතු කරලා තියෙනවා, අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා, අධිකරණය නඩු අහනවා, නඩු අහලා විභාග කරලා දඬුවම් දෙනවා!"

අතීතයේදී ජනතා ධනය සොරකම් කළ පිරිස්වලට තම ජීවිතයේ ඉතිරි කාලයෙන් වැඩි කොටසක් සිරගෙවල් තුළ ගත කිරීමට සිදුවන බවත්, එම තත්ත්වය හමුවේ වැරදිකරුවන් අද වන විට දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

"එක්කෙනෙකුට දඬුවමක් හම්බවුණා, දැන් එයාට අවුරුදු 62යි, දඬුවම අවුරුදු 20යි. දඬුවම ඉවර වෙනකොට 82යි! තව කෙනෙකුට දඬුවමක් හම්බවුණා, අවුරුදු 54යි, දඬුවම අවුරුදු 22යි. දඬුවම ඉවර වෙනකොට 76යි! නෝනාට 15යි... මේ නෝනා... අවුරුදු 15යි! එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ... ඒගොල්ලෝ විශාල ලෙස මහජනයාගේ හොර... ධනය හොරකම් කරා කිසිදු සැලකිල්ලකට ලක් කරන්නේ නැතුව. හැබැයි දැන් දඬුවම් එනවා! දඬුවම් එනකොට ඒගොල්ලෝ දන්නවා මොකක්ද? ඒගොල්ලන්ගේ ඉතුරු ජීවිත කාලයෙන් වැඩි කාලයක් හිරගෙදර ඉන්න සිදුවෙලා තියෙන බව ඒගොල්ලෝ දන්නවා! ඒගොල්ලෝ දන්නවා! දැන් මොකද කරන්න ඕනේ? ඒගොල්ලෝ දැන් එන්න ඕනා... දැන් ඒගොල්ලෝ ඇවිල්ලා... අන්තිම සටන! නේද? හිරගෙදර දොරටුව ගාව, අධිකරණයේ සාක්ෂිකරුවෝ අවසන් වෙලා තියෙන නඩු ගණනාවක්, තීන්දු දෙන්න නියමිතව තියෙන නඩු ගණනාවක්, අලුත් නඩු ගණනාවක් ගොනු වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අවුරුදු 70ක් තිස්සේ මේ වංචනිකයෝ ඒ ආණ්ඩුවලින් මේ ආණ්ඩුවලින් බේරී බේරී කට්ටි පැන පැන හිටියා. දැන් වැඩේ අතටම අහුවෙනවා! දැන් කට්ටිය කලබල වෙලා තියෙනවා! කට්ටිය කලබල වෙලා දැන් කියනවා මොකක්ද? "මේ ආණ්ඩුව පන්නන්න ඕනෑ" ලු! කාටද කියන්නේ මේ "ආණ්ඩුව පන්නන්න ඕනා, මේ කාටද ගස්ති" කියලා මහජනතාවට ඕනාද? නැහැ, මහජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක!හැබැයි "මේ ආණ්ඩුව පන්නන්න ඕනා" කියලා කෑගහන්නේ කවුද? හොරෙක්, දූෂිතයෙක්, කුඩුකාරයෙක්, පාතාලයත් එක්ක සම්බන්ධකම් තියෙන කෙනෙක්... ඒ පහළට තමයි මේ ආණ්ඩුව එලවන්න ඕනා!"