මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා පිලිබද පාර්ලිමේන්තුවේදී සිදුවූ උණුසුම් වාද විවාද මැද රටට හා ජනතාවට වැදගත් යෝජනා කිහිපයක්ද පාර්ලිමේන්තුවේදී ඊයේ (09) දිනයේ සංවාදයට ගැණුනා.

ඒ අතරින් ප්‍රධාන මාතෘකාවක් වන්නේ වසර 20ක් පුරා වතු සේවක අර්ථ සාධක හිග මුදල් ලබා දීම පිලිබදවයි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වතු සේවක අර්ථසාධක හිග මුදල් අද දිනයේ ලබා දෙන බවයි.
"ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මලයගම් ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දීලා තියෙන්නේ. වැඩිම නිවාස ඉදිවෙමින් තියෙන්නේ දැන්. ඒ වගේම වතු කම්කරු ප්‍රජාවට, වතු කම්කරු ප්‍රජාවට වැටුප වැඩියෙන්ම වැඩි කරලා දුන්නේ මේ ආණ්ඩුව තමයි. අපි හෙට උදෑසන, අපි හෙට උදෑසන අපි මහනුවරදී මහනුවරදී බිලියන 45ක්, බිලියන 45ක් නැත්නම් මිලියන 4500ක් අවුරුදු 20ක්, අවුරුදු 20ක් ලබා නොදුන්නු වතු කම්කරුවන්ගේ හිඟ අර්ථසාධක මුදල් හෙට මහනුවරදී අපි ලබා දීලා තියෙනවා. එතකොට මෙයාට වේදනාවක් එනවා, ඒක වෙනම කාරණයක්. ඒ හින්දා අපි ඉඩම් නිදහස් කරනවා, ගෙවලුත් දෙනවා, පඩි වැඩි කරලත් දෙනවා, අයිතිවාසිකම් ලබා දෙනවා කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි."

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ආහාර මිල පාලනය සදහා වන විශේෂ යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
"පෝෂණය පිළිබඳ කතාවෙදී පුළුවන්නම් ආහාර වල ප්‍රමිතිය, විශේෂයෙන්ම රජය විසින් ලබාදෙන ආහාර සලාක වල, පාසැල් වලට දෙන, බන්ධනාගාර වලට දෙන, රෝහල් වලට දෙන සහ ඊට අමතරව රජයේ අනුග්‍රහය යටතේ ලබාදෙන තැන් වලදී ආහාර වට්ටෝරුව පෝෂණවේදීන්ගේ එකඟතාවය අනුව සකස් කරන්න කියන අදහස මේ වෙලාවේ මතු කරන්න කැමතියි. හේතුව මේ දවස්වල ආණ්ඩුවටත් එල්ලවෙන විශාල චෝදනාවක් තමයි මේ මිල පිළිබඳව. එතනදී එළවළු කාණ්ඩ වලට බෙදලා, ඒ කාණ්ඩ වලින් හැම එකකින්ම එළවළු වර්ගයක් ඇතුලත් වන පරිදි ආහාර වට්ටෝරුව සකස් කිරීමේ අනිවාර්ය කිරීම සහ ප්‍රෝටීන් ආහාර නියමිත ප්‍රමාණයක් අන්තර්ගත කිරීම, විශේෂයෙන්ම එළවළු ග්‍රෑම් 200ක් දවසේ ආහාරයට එකතු වන ආකාරයට පරිභෝජනය කරන ජනතාවට ලැබෙන පරිදි, රජයේ අනුග්‍රහයෙන් ලැබෙන එකෙන් ආරම්භ කරලා, පෞද්ගලික අංශයෙන් හදන ආහාර වේලටත් අනිවාර්යෙන්ම මේ කැටගරි හතරට වෙන් කරලා, ඒ හතරෙන් එකක් තිබිය යුතුයි කියන එක කළොත්, සමහර එළවළු වලට තියෙන ඉල්ලුම, ඉහළ ඉල්ලුම නිසා මිල ඉහළ යන එක පාලනය වෙලා, සියලුම වර්ගවල පෝෂ්‍ය කොටස් ටික ඇතුලත් වෙලා, නියමිත ප්‍රමිතියකින් යුක්ත ආහාර වේලක් ජනතාවට ලබා දීමට සහ ඒ පිළිබඳව ජනතාව උනන්දු කරවීමට ආණ්ඩුවට අවස්ථාව තියෙනවා."

මේ අතර, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් දිට්වා සුළි කුණාටුව නිසා විපතට පත්වූවන්ට දෙන කුලී නිවාස දීමනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
"පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වුණා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ අයගේ නිවාස කුලී ලබා දීම පිළිබඳ ගැටලුවක්. ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයෙන් එවපු ලේඛනයක් මම සභාගත කරනවා, හැන්සාඩ් කරනවා. ඒක තමයි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ප්‍රධානීතුමා විසින් ජනාධිපති ලේකම් මුදල් අමාත්‍යාංශයට යවා තිබෙනවා, ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ අයගේ නිවාස කුලී ලෙස රුපියල් 25,000ක මුදල ලබා දීමේ කටයුතු ඔක්තෝබර් මස සිට දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් අනුමැතිය ලබා දී ඇති බැවින් එම මුදල් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් කාපුණිකව මෙයින් දන්වා සිටිමි."

මේ අතරතුර, පසුගියදා සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් අදහස් පල කළේ මෙලෙසයි.
"මේ රටේ ඉතාම වැදගත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක් දැන් දින කිහිපයකට කලින් සිදු වුණා. කොළඹ වරායේදී අයිස් කිලෝග්‍රෑම් 43, 472ක් සහිත කන්ටේනරයක්, වටිනාකම රුපියල් කෝටි 800ක් පමණ බව කියනවා අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගැනීම කරේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු කියන බොහොම කීර්තිමත් ජ්‍යේෂ්ඨතම නිලධාරියාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින්. ඇමතිතුමනි, දැන් රන්මල් කොඩිතුවක්කු ජ්‍යේෂ්ඨ පොලිස්පතිතුමා කරපු මේ පරීක්ෂණය පිළිබඳව, ඒ කියන්නේ වරායේ කන්ටේනර් වල කවදාවත් මත්ද්‍රව්‍ය එන්නේ නැහැ, වරායේ ක්‍රියාකාරීත්වය තුළ ඒ ඒ ඒ මත්ද්‍රව්‍ය වෙළඳාම තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම තුළ මේ කන්ටේනර් භාවිතා කරන්නේ නැහැ, එහෙම වෙන්න බැහැ, වෙලා නැහැ, ඒ නිසා මේ අක්‍රමික ක්‍රියාදාමය තුළ රට ඇතුළට මත්ද්‍රව්‍ය හෝ අනතුරුදායක දේවල් එන්න තියෙන අවස්ථාවක් නැහැ කියලා මොරදීපු ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ පොලිස්පතිවරයා, ඒ ආණ්ඩුවේ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන රන්මල් කොඩිතුවක්කු මහත්මයා කරපු පරීක්ෂණය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? අවංක නිලධාරීන් අධෛර්යමත් වෙනවා."