දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය වෙනුවෙන් තවදුරටත් විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇතැයි පොලීසිය පවසනවා.

ඒ අනුව පෙරහැරට සහභාගාවීමට හෝ එය නැරඹීමට පැමිණීමට කිසිවෙකු බිය විය නොමැති බවයි අවධාරණය කෙරෙන්නේ.

මෙම පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් බුද්ධි නිලධාරීන්ද ඇතුළුව නිලධාරීන් 500කට වැඩි පිරිසක් ආරක්‍ෂාවට යොදවා සිටිනවා.

ඔවුන් පැය 24 පුරා විමසිලිමත්ව සිටිමින් පෙරහැරේ ආරක්‍ෂාව සහතික කරන බවයි නෙත් නිවුස් මීට පෙර කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා කියාසිටියේ.

මේ අතර දෙවිනුවර ශ්‍රී උත්පලවන්න වාර්ෂික පෙරහර මංගල්‍යයෙන් කාවඩි නර්තනාංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

මෙම පෙරහරේ කාවාඩි නර්තනාංගය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් යොමු කළ බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බලමිනුයි දිස්ත්‍රික් ලේකම්වරයා මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.

ඉකුත් වසරේ පෙරහැරෙන් ඉවත් කෙරුණු කාවඩි කණ්ඩායම් කිහිපයකට මෙවර පෙරහැරේදී අනිවාර්යයෙන් අවස්ථාව ලබා දිය යුතු බවට වන තර්ජනාත්මක හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් දිනවල සංසරණය වුණා.

ඊට ප්‍රතිචාර දක්වන තවත් හඬ පටයක් ද පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඉකුත් 21වනදා දේවාලය ආසන්න නිවසකට වෙඩි තැබීමක් සිදු වූයේද එසේ තිබියදීයී.

මේ පිළිබඳ තවදුරටත් සොයා බලමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

එම කරුණු සලකා බලමිනුයි පෙරහැරෙන් කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිර්දේශ කර ඇත්තේ.