දෙහිවල - කඩවත පාර, දහනායක ක්‍රීඩාංගණයේ අසල බේකරියක හිමිකරුවෙකුට වෙඩි තැබීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ අද රාත්‍රි 8.10ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු බේකරිය තුළට පැමිණ අදාළ වෙඩි තැබීම සිදු කිරීමට උත්සාහ කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග බේකරි හිමිකරු පොරබදා ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉන් අනතුරුව වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා යතුරු පැදියෙන් පලාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසුවේ.