නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ දේශපාලන බලය පාවිච්චි කරලා ඉඩම් අල්ලා ගැනීමට මින් ඉදිරියට කිසිසේත්ම ඉඩ නොතබන බවයි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
දේශපාලන බලය පාවිච්චි කරමින් ඉඩම් අල්ලා ගැනීම නිසා නැගෙනහිර පළාතේ බරපතළ ගැටලු රැසක් මතුව ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
ඒ අනුව, මෙම තත්ත්වය වහාම පාලනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා අතරම, නැගෙනහිර පළාතේ සිදුවන අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත දැඩි උපදෙස් ද ලබා දුන්නා.
එමෙන්ම, යුද ගැටුම් අවසන් වී වසර 16ක් ගත වී තිබුණත්, නැගෙනහිර පළාතේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමට මෙතෙක් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වුණා.
ඒ අනුව, එම ජනතාව කඩිනමින් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය සැලසුම් වහාම සකස් කරන ලෙසයි නිලධාරීන්ට නියෝග කෙරුණේ.
මේ අතර, සමුද්‍ර ඛාදනයෙන් දැඩි ලෙස බැටකන නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ වෙරළ ඛාදනය වැළැක්වීමට හුදෙක් ගල්වැටි දැමීම ප්‍රායෝගික විසඳුමක් නොවන බවයි.
ඒ වෙනුවට ඔලුවිල් වරාය සහ ඒ ආශ්රිත ධීවර වරාය පිළිබඳව අවධානය යොමු කරමින්, මේ ගැටලුවට ස්ථීර විසඳුමක් දිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් ගැන කඩිනම් අධ්‍යයනයක් සිදු කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලැබුණා.
එමෙන්ම, නැගෙනහිර පවතින ආකර්ෂණීය වෙරළ තීරය උපයෝගී කරගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඇති ඉහළ හැකියාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වෙරළ තීරය ආශ්රිත හෝටල් පවත්වාගෙන යාමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් එක් එක් පුද්ගලයාට වෙනස් ආකාරයට සලකන බවට තමන්ට වාර්තා ලැබී ඇති බවද සඳහන් කළා.
කිසිසේත්ම එවැනි පක්ෂපාතී තත්ත්වයන්ට ඉඩ නොතබා, සැමට එක හා සමානව නීතිය සහ සහන සැලසිය යුතු බවයි ජනාධිපතිවරයා අවසාන වශයෙන් අවධාරණය කළේ.



