සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළ සිවුරට යුතුකම ”නිදහසේ පාද යාත්‍රාව” තුන්වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි.

කෑගල්ලෙන් පෙරවරුවේ ගමන් ආරම්භ කළ එම පාද යාත්‍රාව වරකාපොළ දක්වා අද පැමිණෙනවා.

නිදහසේ පාද යාත්‍රාව කෑගල්ල නගරයෙන් ගමන් ආරම්භ කිරීමට පෙර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

"ඕනතරම් අපි ඉතිහාසය ගැන කියවලා තියෙනවා දන්නවා. හැබැයි සිවුරට අතතියන්න කවුරුවත් කවදාකවත් වැඩ කළේ නැහැ. මාලෙකට හෝ සිවුරට අතතියපු පළවෙනි වතාව විදිහට අපිට මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අතතියලා තියෙන්නේ බුද්ධ චීවරයට. එතන පක්ෂ පාට දේශපාලන පාට කන්නාඩි අපි ළඟ නැහැ. සිවුරට සිවුරක් අපි ඔක්කොම එකතුවෙලා මේ වෙලාවෙදී අපේ බුද්ධ චීවරයේ ගෞරවය වෙනුවෙන් අපි මේකට එකතු වෙන්න ඕනේ, පෙළගැහෙන්න ඕනේ. කෑගල්ලේ ඉඳලා වරකපොල දක්වා සියලු ගම්මානවල වැඩවසන හාමුදුරුවරු සියලු ජනතාවට එකතුවෙලා නිදහසේ පාද යාත්‍රාව 'සිවුරට සිවුරක්' කියන සංකල්පය යටතේ මේකත් එක්ක අපේ පාද යාත්‍රාවත් එක්ක ඒකාත්මික වෙන්න කියලා මතක් කරනවා."

නිදහසේ පාද යාත්‍රාව සදහා කෑගල්ලෙන් අද තවත් බොහෝ පිරිසක් එක්ව තිබෙනවා.

එම පාද යාත්‍රාව වරකාපොල, නිට්ටඹුව, කඩවත යන නගර පසු කරමින් ලබන 15 වනදා කොළඹට ළගා වීමට නියමිතයි.